ද්විත්ව භූගත දුම්රිය උමං මාර්ගයක් මහනුවරින් ඉදිකරනවා – රත්නායක කියයි
ශ්‍රී ලංකාවේ මුල්වරට ද්විත්ව භූගත දුම්රිය උමං මාර්ගයක් මහනුවර කේන්ද්‍ර කොට ඉදිකරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.
මහනුවර නගරයේ අධික වාහත තදබදයට විකල්පයක් වශයෙන් මෙම මාර්ගය දීර්ඝ කාලීන සැලැස්මක් යටතේ ඉදිවන බවත් ඒ සදහා ආසියානු සංවර්ධන විදේශීය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බව 15 දා මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා කීවේය.
මහනුවර දුම්රිය ස්ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය සහ ධාවනාගාරය, දුම්රිය අංගනය, මගී පර්යන්තය ඇතුළු අංශ කිහිපයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
දුම්රිය නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළහ.
පේරාදෙණියේ සිට මහනුවරට රෝහල් පහක්ද පාසල් අටක් ද ස්ථාපිත ව පවතිනවා. එම කිලෝමීටර් කිහිපය තුළ පවතින තදබදය කාටවත් වෙනස් කරන්න බැහැ. ඊට විසඳුමක් වශයෙන් භූගත දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට අප සූදානම්.
භූගත උමං මාර්ගය මෙන්ම මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ දෙපසින් සීඝ්‍රගාමී අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ද අප සැලසුම් කර තිබෙනවා.
සුනාමින් අනතුරුව දින 52 ක කාලයක් තුළදී දුම්රිය යළි ධාවනය කළ හැකි පරිදි යථා තත්ත්වයට පත් කළ නිලධාරීන් තරම් දක්ෂ අය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුයි.
එනිසා දුම්රිය නිලධාරීන්ගේ සේවය අගය කරන අතර ඇගයීමට ලක් කරමින් තබාගැනීමටත් බැහැර කළ යුතු අය බැහැර කිරීමටත් මම කටයුතු කරනවා.
මේ මස 24 දා සිට මහනුවර ,මාතලේ අතර නව දුම්රියක් ධාවනය කිරීමට අප කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කි අතර මෙම අවස්ථාවට මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ලයනල් ධර්මපාල මහතා ඇතුළු නිලධාරී පිරිසක්ද සහභාගී වුහ .
කමල් සුරවීර
