Latest News

ධරණී කර්තෘ සුරංගා සමරනායක සම්මානයෙන් පිදුම් ලබයි

‘‘ධරණී’’ කාන්තා පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුරංගා සමරනායක Top 50 Professional and Career Women’s Global Award 2023 හි මුද්‍රිත මාධ්‍ය නායකත්ව (Leadership in Print Media Award) සම්මානයෙන් පිදුම් ලැබුවාය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී 13 වැනි වරටත් මෙම සම්මාන උළෙල ඉකුත් 17 වැනිදා පැවැත්විණි. 

Women in Management Sri Lanka ආයතනය, International Finance Corporation (ලෝක බැංකු කණ්ඩායම) සහ Australian Aid ජාත්‍යන්තර සංවිධානය සමග එක්ව සංවිධානය කරනු ලබන ‘Top 50 Professional and Career Women’s Global’ සම්මාන උළෙල මාධ්‍ය, සිනමාව, ව්‍යවසායක, නීතිය, කලාව ඇතුළු විවිධ අංශ ඔස්සේ ඉහළටම ගිය කැපී පෙනෙන දෙස් විදෙස් කාන්තාවන් 50 දෙනකු සම්මානයට පාත්‍ර කිරීමේ වාර්ෂික සම්මාන උළෙලකි. 

සම්මාන උළෙලේදී ධරණී  පුවත්පතේ ප්‍රධාන කර්තෘ සුරංගා සමරනායක මුද්‍රිත මාධ්‍ය නායකත්ව සම්මානයට පාත්‍ර වූයේ මුද්‍රිත මාධ්‍ය කලාව තුළ ඇය දැක්වූ කැපී පෙනෙන දක්ෂතා සහ ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමේලා ඈ දැක්වූ දායකත්වය වෙනුවෙනි.

කාන්තා පුවත්පතක් ලෙස ධරණී වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද්දේ කාන්තා පුවත්පත් කලාවට තිබෙන ඉල්ලුම, පිළිගැනීම තරමක් අඩුවෙමින් පවතින දුෂ්කර මොහොතකදීය. එවන් දුෂ්කර අභියෝගයකට සාර්ථකව මුහුණදෙමින් ඉතාම කෙටිකලකින් ධරණී කාන්තාවන් අතර ජනප්‍රියම  පුවත්පත කරවීමටත්, ඔවුන්ගේ හදවතේ පුවත්පත කරවීමටත් ඈ කළ මෙහෙය පුවත්පත් කලාවටම නවමු එළියක් වූ බව සම්මාන උළෙලේදී  සඳහන් විය. 

මුද්‍රිත සහ ඩිජිටල් යන මාධ්‍ය දෙකෙන්ම වැඩි පාඨක පිරිසක් අතරට යන ධරණී පුවත්පත 2022, 2023 වසරවල ජනතාවගේ පුවත්පත උදෙසා, ‘ස්ලිම් කැන්ටර්’ ජනතා සම්මානය සඳහා ද නිර්දේශ වූ අතර එතෙක් මෙතෙක් ඉතිහාසයේ ජනතා සම්මානයකට නිර්දේශ වූ එකම කාන්තා පුවත්පත වීමද සුවිශේෂීත්වයකි.