News

නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොබමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම හිටපු මන්ත‍්‍රීවරයාගේ භාර්යාව විසින් ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන අපේ‍්‍රල් 04 දින විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (30)නියෝග කළා.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දිපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් හමුවේ කැඳවූ අතර එහිදී මෙලෙස පෙත්සම් විභාගයට දින නියම කළා.

එහිදී මෙම පෙත්සමේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින නාවික ලූතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

වගඋත්තරකාර ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා අධිකරණය හමුවේ කියා සිටියේ තමා රක්ෂිත බන්ධනාගාර ගතවී සිටින බවත් , ඒ අනුව නීතීඥවරයකු ඉදිරිපත් කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අභියාචනා පෙත්සම ලබන අපේ‍්‍රල් 04 වැනිදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට නීතීඥවරයකු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දෙවැනි වගඋත්තරකරුට නියම කෙරුණා.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර නාවික හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම මත ජූරි සභාව හමුවේ මෙම නඩු විභාග පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා 2016 ඔක්තෝබර් 27 වැනිදා අවසර දුන් බව පෙත්සමේ දැක්වෙනවා.

පසුව ජූරි සභාව සිංහල භාෂාව කතා කරන අයගෙන් සමන්විත විය යුතු බවට විත්තිකරුවන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව විශේෂ ජූරි සභාවක් මහාධිකරණ විනසුරුවරයා විසින් පත් කරන ලද බව පෙත්සමේ දැක්වෙනවා.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පිළිබඳව නිසි ලෙස සැලකිලිමත් නොවී ජූරි සභාවක් පත් කිරීමෙන් අගතියක් සිදුව අතැයි පෙත්සමේ සඳහන් වනවා.