News

නව ගුවන් සේවාවක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි

චීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

චීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය, එරට චොන්ග්චින්ග් ගුවන් තොටුපළ වෙත නොනවතින ඝෘජු ගුවන් ගමන් සේවා ඊයේ (28) රාත්‍රීයේ සිට ආරම්භ කළා.

චොන්ග්චින්ග් නිරිත දිග චීනයේ විශාලතම වානිජ සහ කාර්මික නගරය ද වනවා.

එහි චොන්ග්චින්ග් ගුවන් තොටුපළේ සිට ඊයේ (28) රාත්‍රී 9.10 ට චොන්ග්චින්ග් ගුවන් සේවයේ ඕ.කිව්.- 2393 දරන ගුවන් යානය , සිය මංගල ගුවන් ගමන සිදු කරමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඒ සදහා A – 320 neo වර්ගයේ ගුවන් යානයක් , මෙම ගුවන් සේවය යොදවා තිබූ අතර , එහි මගීන් 152 ක් සහ කාර්යය මණ්ඩලය 11 ක් පැමිණ සිටියා.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම ගුවන් යානයට ගුවන් තොටුපළ ගිනි නීවීම් ඒකකයේ රථ මගින් ජල ප්‍රහාර ඉසිමින් උත්කර්ෂවත් ලෙස පිළිගත් අතර , ගුවන් තොටුපළේ පැවති මෙම සමාරම්භක උත්සවය සදහා එම ගුවන් සේවයේ උප සභාපති හී ජුන් මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගී වී සිටියා.

ඊයේ (28) දින සිට සෑම සතියකම දින තුනක් , එනම් සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල රාත්‍රී 9.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළිත් එදිනම රාත්‍රී 10.10 ට චීනයේ චොන්ග්චින්ග් බලා නොනවතින ගුවන් ගමනක යෙදීමට නියමිතයි.