News

නාඩු සහල් රු.100 පනී

විවෘත වෙළෙඳපොළේ නාඩු සහල් කිලෝවක විකුණුම් මිල රුපියල් සියයක්ද ඉක්මවා ගොස් ඇත. ප්‍රධාන නගරවල සහල් කිලෝවක මිල රුපියල් අනූ හතත් රුපියල් සියයක් දක්වා ඉහළ ගොස් තිබේ.

නගරයෙන් බැහැර උප නගර සහ ග්‍රාමීය ප්‍රදේශවල කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා ගොස් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති. නාඩු සහල් කිලෝවක අවම මිල රුපියල් අනූ හතක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 105 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.

මේ අතර වෙළෙඳපොළේ ලොකු ලූනු මිල ද ඉහළ ගොස් ඇත. සඟවාගෙන අලෙවි කරන ඉන්දීය ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 260ක් දක්වා ඉහළ දමා ඇත.

පකිස්ථානයෙන් සහ ඊශ්‍රාලයෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක් රුපියල් 165ට අලෙවි කෙරේ. දේශීය ලොකු ලූනු වගාවෙන් ගොවීන් ඉවත්වීම වෙළෙඳපොළේ අනපේක්ෂිත ලෙස ලොකු ලූනු මිල ඉහළ යාමට බලපා ඇත.

රසය සහ ගුණාත්මක නොමැති ඊශ්‍රායලයෙන් සහ පකිස්ථානයෙන් ආනයනය කෙරෙන ලොකු ලූනු සඳහා ඉල්ලුම පහළ යන බව තොග වෙළෙඳුන් පවසති. දේශීය සහ ඉන්දීය ලොකු ලූනු සඳහා වැඩි ඉල්ලුමක් ඇතත් දේශීය ලොකු ලූනු අස්වනු අවසන්ව ඇති අතර ඉන්දියන් ලොකු ලූනූ ආනයනය සීමාවීම මිල ඉහළ යාමට බලපා ඇත.