නැව ගිලුනත් බෑන් චූන් – එකෙක් මළත් මාර චූන් නම් ‘ඒක ලෙඩක්’
“මේ ලෝකේ වටිනම දේ මොකද්ද?”
කියලා ඇහුවොත් බහුතරයකගෙන් ලැබෙන උත්තරය ‘මානසික සතුට’ කියන එක බව විශ්වාසයි. ඇත්ත. මේ ලෝකේ වටිනම දේ මානසික සතුට තමයි. හැබැයි ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනේම නෑ කියන්නා වගේ මානසික සතුට වුණත් ඕනවට වඩා වැඩි වුණාම හැදෙන ලෙඩක් තියෙනවා. අද ලිපියෙන් කතා කරන්න හදන්නේ ඒක ගැන.
මේ ළඟදි ගමනක් යනකොට බස් හෝල්ට් එකක ඉන්න පිරිමි කෙනෙක් මහ හයියෙන් සිංදුවක් කියනවා මම බලාගෙන. ඒ දිහා බල බලා ඒ වටේ අනිත් අය හිනාවෙනවා. ඒක මට හොඳට හුරුපුරුදු මූණක් නිසා ටිකක් එතැනට ළංවුණාමයි දැක්කේ ඔහු ඒ කාලේ මාත් එක්ක අමතර පංති ගියපු පිරිමි ළමයෙක් කියලා. ඔහුට තියෙන්නේ මම අද කියන්න යන තත්ත්වය කියලා බැලූ බැල්මට තේරුණා. මට මතක හැටියට ඒ ළමයා පංති යන කාලෙත් අමුතු අමුතු වැඩ කළා. ඒ වැඩවලට අනිත් අයට හිනාවුණාම ඔහු දාන වැඩ කෑලි තවත් වැඩිවෙනවා. ඔහු දැනටමත් ඒ රෝග තත්ත්වයට ප්‍රතිකාර ගන්නවා කියලයි ඔහුගේ ගෙදර අයට කතා කළාම කිව්වේ.
මම දන්න තව කාන්තාවක් ඉන්නවා. ඇයටත් තිබුණා තැන නොතැන නැතිව සිංදු කියන පුරුද්ද. තැනට නොගැළපෙන විදියට අඳින පළඳින එක අනිත් වැඩේ. උදාහරණයක් විදියට මළගෙදරක ගියත් ඇය යන්නේ මේකප් තට්ටුවක් ගාලා. ඇය රැකියාවක් කළේ නෑ. ගෙදර හිටියා කියලා හැබැයි විනාඩි පහක් නිකන් ඉන්නෑ. උදේ පාන්දර හතරට නැගිටලා ගෙදර වැඩ පටන්ගන්නවා. අක්කර ගාණක වත්තක් තනියම සුද්ද පවිත්‍ර කරන්නේ ඇය. ඇගේ සැමියට පාරක් මම ඇයට තියෙන්නේ මානසික ව්‍යාධියක් බව කිව්වත් ඔහු ඒක කනකට ගත්තේ නැහැ.
මේ කිව්ව දෙන්නටම තියෙන්නේ උන්මාද සින්ඩ්‍රෝමය (Manic syndrome) කියන තත්ත්වය. මේනියාව (Mania) කිව්වහමයි ගොඩක් අය මේක දන්නේ. ඔය වැඩිය දඟලන කරන මිනිස්සුන්ට “මේකට පුදුම මේනියාවක් තියෙන්නේ” කියලා කතාවට කියන්නේ. මේනියාව කියන්නේ ඇත්තටම දඟලලා නටලා කරලා ඉන්න හිතෙන ලෙඩක් තමයි.
ඒ කියන්නේ මෙහෙමයි. ඩොපමීන්, එන්ඩොර්පීන්ස්, ඔක්සිටොක්සීන්, කෝර්ටිසෝල් වගේ සතුටු හෝර්මෝන ස්රාවය වුණාමයි කෙනෙක්ට සතුටක් දැනෙන්නේ. හැබැයි මේ හෝර්මෝන නිකන් ස්රාවය වෙන්නෑ. ඒකට සතුට දැනෙන හේතුවක් ඕනේ. ඒ කියන්නේ විභාගයක් පාස් වුණාම නැත්තම් සිංදු අහනකොට, විනෝද චාරිකාවක් යද්දි නැත්තම් ආසම දෙයක් කරද්දි. හැබැයි සමහර අය ඉන්නවා ඒ අයගේ මේ කියන හෝර්මෝන නිතරම තියෙන්නේ ඉහළ මට්ටමක. ඒ කියන්නේ එයාලා නිතරම ඉන්නේ සතුටින්. එයාලගේ මුහුණෙන් කරන කියන වැඩවලින් ඒ ප්‍රීතිය පේනවා. අයිස්, කොකේන් වගේ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක්ටත් ඇතිවෙන්නේ මේ කියන මනෝභාවය. හැබැයි ඒක පවතින්නේ ඒ මත්ද්‍රව්‍ය ගන්න වෙලාවට විතරයි. ඒ වගේම කියන්න ඕනේ විශාදයේදී වෙන්නේ මේකේ අනිත් පැත්ත. මේ සතුටු හෝර්මෝන ස්රාවය නොවෙන එකයි එයාලට තියෙන ගැටලුව. එතකොට මේනියාව කියන්නේ විශාදයේ අනිත් අන්තයට.
මේ නිසා මේ වගේ තත්ත්වයක් ඇතිවුණාම ඒ කෙනා පෙන්වන ලක්ෂණ මොනවද කියන එක අපි කතා කරමු. පළවැනිම දේ ඒ අයට දුක, ශෝකය දැනෙන්නේ නැහැ. අර නැව ගිලුණත් බෑන් චූන් කියන්නේ කතාවට. තැනක් නොතැනක් නැතිව හේතුවක් නැතිව හිනාවෙනවා. අම්මා, තාත්තගේ මළගෙදර වුණත් හිනාවෙවී ඉන්න පුළුවන්. ඒ වගේම මේ අය පමණට වඩා ධනාත්මකයි. මේ ලෝකේ කරන්න බැරි වැඩක් ඒ අයට නැහැ. කතාවට ගැම්මෙන් ඉන්නවා කියන්නේ. කවුරුහරි කෙනෙක් ගඟකට පැනලා පෙන්වන්න කියලා විහිලුවට කිව්වොත් ඒ කෙනා අනිවාර්යයෙන්ම ඒක කරනවා. එයාව වළක්වන්න හැදුවොත් තරහා අරගෙන අර කෙනාට පහර දෙන්න වුණත් ඉඩ තියෙනවා. මෙයාලා තොරතෝංචියක් නැතිව කතා කරනවා. කිසිම මහන්සියක් නැතිව එකදිගට පැය හතරක් පහක් වුණත් කතා කරන්න පුළුවන්. ඔතැනදී වැඩිපුරම කතා කරන්නේ තමන් ගැන. මේ අය තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්නවා. තමන් කරන වැඩ ගැන, කරන්න පුළුවන් දේවල් වගේ දේවල් තමයි කියන්නේ. සමහරු ඇත්ත කියනවා. හැබැයි එහෙම කියන්න දේවල් නැතිනම් බොරු හරි කියන්න ඔවුන් පැකිළෙන්නේ නැහැ.
සතුටු හෝර්මෝන ස්රාවය වීම එක්ක මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා. ඒ නිසා මේ අය නිතරම දුවලා පැනලා වැඩ කරන්න කැමැතියි. මොනතරම් වැඩ කළත් මහන්සි දැනෙන්නේ නැහැ. මේ නිසා මේ තත්ත්වය තියෙන කෙනෙක්ට නිදාගන්න හිතෙන්නේ නැහැ. නින්ද යන්නේ නැතිව නෙවෙයි. නිදාගන්නේ මොකටද නැගිටලා වැඩ කරන්න ඕනේ කියලා නිතරම හිතෙනවා මොළයේ අධික්‍රියාකාරීත්වය නිසා. ඒ වගේම රස කෑම කන්න කැමැතියි.
මොළයේ අධික්‍රියාකාරීත්වය එක්ක එන තවත් දෙයක් තමයි අධික ලිංගික ආශාව. එක ලිංගික සහකරුවෙක්ගෙන් සෑහීමට පත් නොවන අයත් ඉන්නවා. ඒ වගේම අනිත් අයට ලිංගික කරදර හිරිහැර කරන්නත් පෙළඹෙනවා.
අධික විදියට මුදල් වැය කරන එක මේනියාවේ තවත් ලක්ෂණයක්. තමන්ට මුදල් තියෙනවා කියලා පෙන්වන්න ණයවෙලා හරි වියදම් කරනවා වගේම තැනට නොගැළපෙන දේවල් කරනවා. අමුතු ඇඳුම් අඳිනවා. උසාවියකට ගිහින් කෑගහනවා වගේ දේවල්.
මේ අයට සිහි කල්පනාව හොඳට තියෙනවා. ඔය තත්ත්වයේ ඉඳගෙන ඉහළට ඉගෙනගත්තු අය පවා ඉන්නවා. ඒ කොහොම වුණත් මේනියාව කෙනෙක්ගේ පෞරුෂයට ඍජුවම හානි කරන තත්ත්වයක්. මොන තරාතිරමක හිටියත් ඒ පුද්ගලයා සමාජය ඉස්සරහා විකටයෙක් වෙනවා. හැසිරීම් එක්ක පවුල් ප්‍රශ්න සහ සමාජයීය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. කරන්න බැරි දේවල් කරන්න ගිහින් ජීවිත හානි වෙන්නත් පුළුවන්.
අනික කෙනෙන් නිතරම සිංදු කියන එක, හිනාවෙන එක අවට සමාජයටත් ගැටලුකාරී වෙන තැන් තියෙනවා. උදාහරණයක් විදියට මේනියාව තියෙන කෙනෙක් රෑ දෙගොඩහරියෙ වුණත් ගම දෙක වෙන්න සිංදු දාන්න දෙපාරක් හිතන්නේ නැහැ.
මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්නෙ ඇයි කියන එකත් වැදගත්. තමන්ගේ ළඟම කෙනෙක්ගේ වියෝව ප්‍රේමයේ විරහව වගේ දේවල් නිසා කෙනෙක්ගේ මොළයේ හොර්මෝන මේ විදියට අසමතුලිත වෙන්න පුළුවන්. ඊගාවට ජානවලින්. ඒ කියන්නේ පරම්පරාවේ කෙනෙක්ට මේ තිබුණානම් මේ තත්ත්වය ජානවලින් එන්න පුළුවන්. ඊට අමතරව පසු ප්‍රසව විශාදය. දරු ප්‍රසූතියකින් පසු ඇතිවිය හැකි මානසික තත්ත්වයක්. විවිධ රෝගවලට ගන්න ඖෂධ වර්ග නිසාත් උන්මාදමය තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.
අවුරුදු 12න් අඩු අයට මේක හැදෙනවා අඩුයි. හැබැයි නැතිවම නෙමෙයි. 12ට වැඩි ඕනම කෙනෙක්ට මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. යුරෝපා රටවල මේනියාව තියෙන උදවිය 10%ක් ඉන්නවා කියලා ගණන් බලලා තියෙනවා. අපේ රටේ ඒ වගේ සමීක්ෂණ කරලා නැහැ. හැබයි අපේ රටෙත් මේක තියෙන අය සැලකිය යුතු මට්ටමකට ඉන්නවා කියලා අපිට මුණගැහෙන රෝගී සංඛ්‍යාවෙන් පැහැදිලියි.
ඖෂධ ප්‍රතිකාර, චර්යා ප්‍රතිකාර වගේ දේවලින් මේක පාලනය කරන්න පුළුවන්. හැබැයි තත්ත්වය මුලදිම අඳුනගන්න එක වැදගත්. මොකද පස්සෙන් පහුවෙනකොට නේවාසික ප්‍රතිකාර ගන්න තරමට මේනියාව උග්‍ර වෙන්න පුළුවන්. තමන් දන්න අඳුනන කෙනෙක් මේ විදියේ හැසිරීම් පෙන්වනවා නම් මොකක් හරි උපක්‍රමයකින් ඒ කෙනාව මනෝ වෛද්‍යවරයෙක්ට යොමු කරන්න ඕනේ. කෙළින්ම ගිහින් ‘ඔයාට මේනියාව බෙහෙත් ගන්න යමු’ කිව්වොත් ගුටි කන්න වෙයි. මොකද මොළය අධික්රියාකාරී මට්ටමක තියෙන කෙනෙක් කෝප ගන්වන එක මාරාන්තික ප්‍රහාරවලට වුණත් ලක්වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා තමන්ගේ ඇඟත් බේරගෙන මේ වගේ කෙනෙක්ව ප්‍රතිකාරවලට යොමු කරන එකයි නුවණට හුරු වැඩේ
සෙව්වන්දි හෙට්ටිආරච්චි