News

නිශ්ශංක ඇතුළු විත්තිකරුවන් 8දෙනාට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රය විභාගයට ගැනීමට දින නියම වෙයි

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816 ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා 19 කින් යුත් අධිචෝදනා පත්‍රය මැය මස 4 වන දා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුු මඩුල්ලක් විසින් ඊයේ(02) නියෝග කරන ලදී.

එම නඩුව ඊයේ කැඳවුම් ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් පිළිගත් ධම්මික ගනේපොල ,ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කළහ.
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදී.

ගාලු වරාය ආසන්න මුහුදේ ඒම්.වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නීති විරෝධී ලෙස ගිනිඅවි සහ පතුරම් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මුලින්ම චෝදනා 7573 ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දෙමින් එම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කිරීමටද ඉකුත් ජනවාරි මස 17 වනදා නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඉකුත් ජනවාරි මස 21 වනදා නඩුවේ ඉතිරිව සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රයක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලදී.

එම සංශෝධිත චෝදනා පත්‍රය ද නීතියට පටහැනි යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එය ඉකුත් 10 වනදා ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළහ.

ඉන් අනතුරුව මෙම නඩුව ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අධිචෝදනා පත්‍රයේ දැනට පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවට අධිකරණය විසින් තීරණය කර ඇති චෝදනා 19 විභාග කිරීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම චෝදනා පිළිබඳව විභාගය මැයි මස 4 වනදා සිදුකරන බව නියෝග කළහ.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.

(අධිකරණ වාර්තාකරු)