News

නෝනා වාට්ටුවේ බිළිඳෙකුටත් කොරෝනා

බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස නවයක් වයසැති බිලිඳෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය ඊයේ (08 වැනිදා) පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට මෙම දරුවා පෙරේදා (07 වැනිදා) අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම රෝහලට ඇතුළත් කර තිබේ. කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත්දැයි ඇතිවූ සැක මත දරුවා වෙන්කොට තැබීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

පසුව ඊයේ (08 වැනිදා) සවස වන විට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ දී දරුවාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අහඹු ලෙස දරුවාගේ පියාගේද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කළ අවස්ථාවේ දී ඔහුට ද කොවිඩ් වැලඳී ඇති බව හෙළි වී ඇත.

කෙසේ නමුත් මෙම දරුවාට වයිරසය වැලඳීමෙන් අනෙක් දරුවන්ට බලපෑමක් නැති බව අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය. ආසාධිත දරුවා සහ ඔහුගේ පියා අයි.ඩී.එච්. රෝහල වෙත යොමු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

ශිරන්තනි මානවඩු