News

පරිසරය රකින්න විශේෂ බලකා හමුදා කණ්ඩායමක්

පරිසරය රකින්න විශේෂ බලකා හමුදා කණ්ඩායමක්

වන විනාශයන් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම මණ්ඩලයක්, කමිටුවක් හා විශේෂ බලකා හමුදා කණ්ඩායමක්ද පිහිටුවා ඇති අතර නාවික හා ගුවන් හමුදාවේ ආධාරයෙන් හා උපකාරයෙන් ද නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ, වාරි සෞභාග්‍යා වැඩසටහනට සමගාමීව කොලොන්නාව ආසනයේ පැවැති නිළ උත්සවයේදී මාධ්‍යවේදියෙකු පරිසර විනාශය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පෙර සිටම පරිසරය විනාශ කරන ලද පිරිස් විසින් වර්තමානයේදී පෞද්ගලික ඉඩම් වල ගස් කැපීමත් මහා පරිසර විනාශයක් සේ පෙන්වන බවත් විදේශීය රටවල් වල සිදු කරන වන විනාශයන්ද ලංකාව තුළ සිදු කරන වන විනාශයන් සේ පවසා තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ගුවනේ සිට හෙලිකොප්ටර් මගින් නිරීක්ෂණය කර විශේෂ කාර්යය බලකා සෙබළුන් විසින් ඉතා කඩිනමින් මෙවැනි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම් සිදු කරන අතර මෙම පරිසර විනාශය සිදු කරන පුද්ගලයින් හා ඊට හවුල් වන සියලු දෙනා අත් අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබා දීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.