News

පස්සර බස් අනතුරින් මියගිය ගණන 15 දක්වා ඉහළට

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තුවාලකරුවන් මේ වන විට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බදුල්ල රෝහලේ තුවාලකරුවන් 29 දෙනෙකුත්, පස්සර රෝහලේ තුවාලකරුවන් තිදෙනෙකුත් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු 14ක් පස්සර රෝහලේ තැන්පත් කර ඇති අතර තවත් එක් පුද්ගලයෙකු බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරන අතරතුර ප්‍රපාතයේ ඉහළ ඇති ගලක් පෙරලීම හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු ද බරපත තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අදාළ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවුණි.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.