News

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ලක්ෂපාන කැනියෝන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු ද ඊයේ විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මහවැලි ගගේ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් ඊයේ (12)දින රාත්‍රියේ විවෘත කර ඇත.

මහවැලි සහ කැලණි ගඟ භාවිතා කිරීමේදී විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන අතර මහවැලි ගගේ ඉහළ පෝෂක ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන් කළේය.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැ.කි.මී. 50 – 60 දක්වා ද උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැ.කි.මී. 40 – 50 දක්වා ද ක්ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවති.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 – 75 පමණ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.