News

පාතාලය නිසා අලියා බීම නවතී

බීම ප්‍රවාහනය කරන ලොරි හා මෑන් පවර් සේවකයන්ට සිය සේවයට පැමිණීම තහනම් කරමින් පාතාලයෙන් එල්ල කළ තර්ජන හේතුවෙන් කඩුවෙල රණාලේ පිහිටි අලියා බීම සමාගමේ ප්‍රධාන නිෂ්පාදනාගාරයේ කටයුතු ඊයේ (23 වැනිදා) නවත්වා දැමීමට ආයතන බලධාරීන්ට සිදුවී ඇත.

මේ හේතුවෙන් ආයතනයේ බීම නිෂ්පාදනය කරන යන්ත්‍ර තුනෙන් දෙකක වැඩ හා අයිස්ක්‍රීම් නිෂ්පාදනය සම්පූර්ණයෙන් නවතා දැමූ බව සේවකයෝ ‘අරුණ’ට පැවසූහ.

මේ හේතුවෙන් ආයතනයේ රුපියල් කෝටි ගණනක නිෂ්පාදන කාර්යයන් ඇනහිට ඇත.

මීට පෙර මෙම ආයතනයට මෑන් පවර් සේවකයන් සැපයීම හා නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රවාහනය කිරීම කඩුවෙල පාතාල නායක සමයං විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවා තිබිණි. සමයං ඝාතනය වූ පසු ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම මෙම ආයතනයට ලොරි පහක් යොදවා මෑන්පවර් සේවකයන් ද යොදවා ඇත.

එහෙත් සමයංගෙන් පසුව කඩුවෙල පාතාලය මෙහෙයවන ඌරුජුවාගේ කණ්ඩායම විසින් මෙහි මෑන්පවර් සේවකයන් මෙහෙයවීම හා ලොරි මෙහෙයවීමට උත්සාහ ගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඌරුජුවාගේ කණ්ඩායම ආයතනයට ලොරි පහසුකම් සැපයූ සරත් නමැති ව්‍යාපාරිකයකු කපා කොටා දැමීම නිසා එම ව්‍යාපාරිකයාගේ ලොරි දෙකක් ආයතනයෙන් ඉවත් කරගෙන තිබිණි. ඒ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

ඒ වෙනුවට තමන්ගේ ලොරි දෙකක් දැමීමට ඌරුජුවාගේ කණ්ඩායම් උත්සාහ කළත් අලියා බීම සමාගම එය ප්‍රතික්ෂේප කර ඇත. මින් පසුව ඉතිරි ලොරි තුන හා සියයක් පමණ වන මෑන් පවර් සේවකයන්ට ​ඊයේ (23 වැනිදා) උදෑසන සිට වැඩට නොයන්නැයි පාතාලයෙන් තර්ජන එල්ලවී තිබේ.

ඒ අනුව සේවකයන් හා ලොරි නොපැමිණ ඇත. ස්ථිර සේවකයන් හා නිලධාරීන්ද මේ හේතුවෙන් බියට පත්වී සිටි අතර අද (24 වැනිදා) දිනයේත් නිෂ්පාදන කටයුතු අඩාළ වන තත්ත්වයක් උද්ගත වී ඇත.

මේ සම්බන්ධව රණාල ​අලියා බීම සමාගමේ අධ්‍යක්ෂ සංජීව ජයසුන්දරගෙන් ඊයේ (23 වැනිදා) රාත්‍රි කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම ප්‍රශ්නය සමථයට පත්කරගත් බවයි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා