News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම විටම ආදර්ශමත් විය යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැම විටම ආදර්ශමත් විය යුතුයි. දැන් මන්ත්‍රීවරු හැසිරෙන විදියට ජෙයරාජ් කවදාවත් පාර්ලිමේන්තුවේ හැසිරුණේ නැහැ. ඔහු ආණ්ඩු පක්‍ෂයේ හිටියත් විපක්‍ෂයේ හිටියත් සටනේ හිටියා.

කවදාවත් ඔහුගෙන් හැන්සාඩ් වාර්තාවෙන් කපා හරින්න වුණ වචන පිටවුණේ නැහැ. ඒ නිසා දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජෙයරාජ්ගේ චරිතයෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ගරු විපක්‍ෂ නායක මහින්ද රාපක්‍ෂ මැතිතුමා අද (06) පෙරවරුවේ වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේ පැවති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 11 වන මතක සැමරුම් උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

මම මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉන්න කොට නීති විද්‍යාලයට යද්දි, මට ජෙයරාජ් මුණ ගැසුනේ. අපි දෙදෙනා කිට්ටු මිතුරන් බවට පත්වුණා. ඒවගේම ජෙයරාජ් එදා ඉදන්ම අවංක එඩිතර තමන්ට කියන්න තිබෙන දේ කෙළින් කියන්න පුළුවන් ශක්තියක් තිබුණ පුද්ගලයෙක්. හැම අවස්ථාවේදීම ඔහු යුක්තිය වෙනුවෙන් පෙනී හිටියා. මිනිස් ගතිගුණ තිබෙන මනුෂ්සත්වයෙන් පිරුණු පුද්ගලයෙක්. ඔහු සැබෑ ජනතා මිතුරෙක්. හැම විටම ඔහු ත්‍රවස්තවාදයට විරුද්ධව පෙනී හිටියා.

ඒ නිසා ඔහු සමග වෛර කිරීම අරුමයක් නොවෙයි. ඔහුගේ අභාවයෙන් අපට නැති වුණේ මන්ත්‍රීවරයෙක් පමණක් නොවෙයි, හොද මිත්‍රයෙක්. ඇමතිවරයෙක් වශයෙන් හුඟක් මන්ත්‍රීවරුන්ට ඔහු උදව් කළා. ඔහු හැමෝටම ආදරය කළා. ජෙයරාජ්ගේ අභාවය කටාන, ගම්පහ, ජනතාවට පමණක් නොවෙයි, මුළු මහත් ජාතියටම පාඩුවක්. භාෂා තුනෙන්ම කථා කිරීමට හැකියාව ඔහුට තිබුණා. පාර්ලිමේන්තුවේ ඔහුගේ කතා කිරීමේ හැකියාව තිබුණා. ජෙයරාජ්ගේ සේවය ඉදිරියට යා යුතුයි. ඔහුගේ දර්ශනය රටට අවශයයි. ආගම් ජාතීන් වශයෙන් සියළුදෙනාටම එකසේ සැළකුවා. ඔහු පන්සල් පල්ලි කොවිල් පුද්ගලික වියදමින් හැදුවා. සියළු ජාතීන් වලට සියළු ආගම් වලට එකසේ සලකමින් ඒ සඳහා කැපවූ බවත් ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

උත්සව සභාවෙන් අනතුරුව ක්‍රීඩාංගනය ඉදිරිපිට ඇති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය ඇතුළු පවුලේ ඥාතීන්ද, සී.බී රත්නායක, ලොහාන් රත්වත්තෙ, දුලිප් විජේසේකර, නිමල් සිරිපාල ද සිල්වා, සුමේධා ජී ජයසේන, තිලංග සුමතිපාල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්වූහ.