පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට පොලිස් ලොක්කන් 11ක් අත්අඩංගුවට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ඇතුළුව ඉහළ පොලිස් නිලධාරීන් එකොළොස් දෙනකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍ය ලේකම්වරයකු වන පද්මසිරි ජයමාන්න හා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරිපත් කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකිවයුතු 13 දෙනකුගේ නම් සම්බන්ධයෙන් සිය නිර්දේශ ඉදිරිපත් කළේය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත ජයසුන්දර අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය. මනුෂ්‍ය ඝාතනය හා ඊට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා මේ මස 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
කොමිසමේ නිර්දේශයට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට වග කිව යුතු ඉතිරි 11 දෙනා වන්නේ එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආනන්ද මුණසිංහ, කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ හා මීගමුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන්, කටාන හා ජම්පටා වීදිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයයි.
චෝදනා එල්ල වී සිටින ඉහළ පොලිස් නිලධාරින් එකොළොස් දෙනා අත්අඩංගුවට ගැනීමට නීති උපදෙස් ලබා දී තිබේදැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි අධිනීතිඥ නිෂාරා ජයරත්නගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ උද්ධෘත මෙතෙක් ලැබී නොමැති බවයි.
