News

ප්‍රහාරය ගැන සාලිගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (16 වැනිදා) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් අසාද් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

‘‘අසාද් සාලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. එම පනතේ ප්‍රතිපාදන අනුව ඔහු රඳවාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

අසාද් සාලි ඉකුත් 10 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

අසාද් සාලි කරන ලද එම ප්‍රකාශය හරහා දණ්ඩ නීති සංග්‍රහය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන බව නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (16 වැනිදා) දැනුම් දී තිබේ.

අසාද් සාලි මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට නීතිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඉෂාර රත්නකාර