පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් මගේ පාලන කාලය තුළ නීතිය හමුවට පමුණුවනවා
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන බවට සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කරයි.
‘‘කුරිරු මතවාදයකින් වියරු වැටුනු පිරිසක් 2019 අප්‍රේල් 21 ඉරිදා ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක මහා මනුෂ්‍ය ඝාතන කොට ඊයේ (21 වැනිදා) ට වසරකි.
මේ සාහසික අපරාදයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට මම මගේ සංවේගය පුදකර සිටිමි.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 270ක් පමණ දෙනා මරණයට පත්වූහ. 500කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් පසුව මියගියහ. තවත් අය සදාකාලික ආබාධිත බවට පත්වූහ.
ප්‍රහාරයෙන් මියගිය ඉතා වැඩි පිරිස කතෝලික බැතිමතුන් වුවද එය ඔවුන් පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකි. කුමන මතවාදයක නාමයෙන් මෙබඳු මිනිස් ඝාතන සිදු කළද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවකි.
පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ බැවිනි. එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදය හිස එසැවීම අරුමයක් නොවේ.
‘සෞභාග්‍යයේ දැක්ම’ මගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ප්‍රතිඥා දුන් පරිදි මගේ පාලන සමය තුළ සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවටත්. කුමන ආකාරයක හෝ අන්තවාදයකට, අන්තවාදී ප්‍රචණ්ඩත්වයකට ඉඩ නොතබන බවටත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමුණවන බවටත් මම මගේ ජනතාවට සහතික වෙමි.’’
