පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් 23දා හෙළි වේ – රජයේ ප්‍රධානියකුට හා ඇමැති තුනකට චෝදනා
පාස්කු දින ප්‍රහාරය නිසා සිදු වූ ජීවිත සහ දේපොළ හානි සම්බන්ධයෙන් සෘජුව වගකිවයුත්තේ කවුරුන්දැයි යන්න ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවට ඇතුළත් කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ‘සති අග අරුණට’ වාර්තා විය.
රජයේ ඉහළ ප්‍රධානියෙක්, ඇමැතිවරුන් තුනක්, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සමග රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුත් මේ සඳහා වගකිවයුතු බවට හඳුනාගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් මොවුන් නාමිකව හෙළි කරනවාද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇතැයිද කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.
නමුත් ඉහළින් එන බලපෑම් මත මෙම වගකිවයුත්තන්ගේ නම් වාර්තාවෙන් හැලෙන්නට ඉඩ ඇතැයිද හෙතෙම කීවේය.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම තේරීම් කාරක සභාවේ වාර්තාව ලබන බදාදා (23 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාස්කු දින ප්‍රහාරය නිසා ජීවිත හානි සහ දේපොළ හානි සිදුවීමට වගකිව යුත්තන් කවුරුන්ද යන්නට අමතරව එම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ මන්ද යන්නත්, මින් ඉදිරියට මෙවන් ප්‍රහාරයක් සිදු නොවීම සඳහා ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් නිර්දේශද මෙම වාර්තාවට ඇතුළත් බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
අජිත් අලහකෝන්
