News

පිටරටින් ඇවිත් ලියාපදිංචි නොවූ අය අල්ලන්න මෙහෙයුමක්

විදෙස්ගතව සිට මාර්තු 16න් පසුව මෙරටට පැමිණි එහෙත් ලියාපදිංචි නොවූ පුද්ගලයන් සොයා වහාම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද (1 වැනිදා) සිට ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය නියෝග කර ඇත.

මෙම පිරිස් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීමට හා දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතැයිද පොලිසිය දැනුම් දී ඇත. මාර්තු 16න් පසුව මෙරට පැමිණි අයට ලියාපදිංචි වීමට දුන් සහන කාලය අද (1 වැනිදා) දහවල් 12.00න් අවසන් වීමත් සමග මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.

මේ සඳහා රාජ්‍ය බුද්ධි සේවාව පොලිස් විශේෂ කාර්යාංශය, සන්නද්ධ බුද්ධි බළකාය වෙතින් ලබාදෙන බුද්ධි තොරතුරු මත මෙහෙයුම් ඇරැඹීමට නියමිතය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මෙරටට පැමිණ ඇති පුද්ගලයන් ගැන ඇති ඡායාරූප හා විස්තරද මෙම මෙහෙයුමට එක්කර ගැනීමට නියමිතය.

ලියාපදිංචි නොවී සැඟවී සිටින පුද්ගලයන් අල්ලා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝ දේපළ රාජසන්තක කිරීම සම්බන්ධවද පොලිස් මූලස්ථානයට උපදෙස් ලබාදී ඇත.

ලියාපදිංචි නොවූ පුද්ගලයන් හට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙවසරක බරපතළ සිරදඬුවම් පැමිණවීමට නීතියෙන් ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

 

තිස්ස රවින්ද්‍ර පෙරේරා