News

පොලීසියට විරුද්ධව අන්තර්ජාලය හරහා පැමිණිලි කරන්න අද සිට

පොලීසියට එරෙහිව අද සිට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසනවා.

එහි සභාපති ජී.එච්. මනතුංග මහතා පැවසුවේ එලෙස යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට ද අන්තර්ජාලය මගින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.npc.gov.lk වෙබ් අඩවියෙන් මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මහජනතාව විසින් පොලීසියට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිලධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහ පැමිණිලි විමර්ශන කටයුතු ප්‍රමාද වන බවට පොලිස් කොමිසමට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බවද එහි සභාපති ජී.එච්. මනතුංග මහතා ප්‍රකාශ කළා.

වාර්ෂිකව එවැනි පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව ද ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.