බන්ධනාගාර සුද්ද කරන මෙහෙයුමට මානව හිමිකම් කොමිසම හරහට සිටී
බන්ධනාගාර කේන්ද්‍ර කරගෙන පාතාල කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිදු කරන අපරාධ රැල්ල නවීන තාක්ෂණය මගින් මැඬපැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට මානව හිමිකම් කොමිසම හරස් වී ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානියකු අනාවරණය කළේය.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය ගෙන යාම පරීක්ෂා කිරීම ඇතුළු බන්ධනාගාර පිටත ආරක්ෂාව සැපයීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට නිදහසට කරුණු විමසා මානව හිමිකම් කොමිසම මෙම සතියේ පොලිස් විශේෂ කාර්ය බළකා සේනාධිනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාට ලිපියක් යවා ඇත.
බන්ධනාගාර තුළ සිටි පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ජංගම දුරකථන යොදාගෙන රටේ අපරාධවලින් සියයට අනූවක් පමණ මෙහෙයවන බව සාක්ෂි සහිතව පොලිස් විශේෂ කාර්ය බළකාය රජයට වාර්තාවක් ලබාදී තිබුණේය.
ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. නවීන තාක්ෂණය තුළින් අපරාධ සිදුකරන්නට පෙර මැඬලීමට නම් බන්ධනාගාර තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය ගෙන යා නොහැකි ලෙස ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ වාර්තාවක් සකසා ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර තිබේ.
එහිදී අඟුණකොලපැලැස්ස හා බූස්ස බන්ධනාගාරවලට වැලිකඩ සහ දරුණු ගණයේ අපරාධකරුවන් යොමු කර එම බන්ධනාගාර තුළ දුරකථන ක්‍රියාත්මක නොවන ලෙස ජැමර් පද්ධති ඇතුළු නවීන ක්‍රමවේද යෙදවීමට යෝජනා කර ඇත.
එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇතැම් බන්ධනාගාර නිලධාරීන් හා මානව හිමිකම් කොමිසම හරස්වීම නිසා බන්ධනාගාර කේන්ද්‍ර කරගෙන සිදුවන අපරාධ මැඬලීමේ ගැටලුව පැන නැගී ඇත.
මෙම සතියේ කඩුවෙල කොතලාවලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හෙරොයින් කිලෝ පහක් අත්අඩංගුවට ගත් අතර වැලිකඩ බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙය කඩුවෙලට යවන්නට උපදෙස් දුන් බව අනාවරණය විය. වත්තලදී සිදුවූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රහාරකයන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මෙහෙයවූ බවද හෙළිවිය.