News

බැඳුම්කර වෝහාරික වාර්තාවේ තීරණය කථානායක අතේ

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන් අතට පත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීම කථානායකවරයා වෙත පැවරීමට ඊයේ (13 වැනිදා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇත.

නීතිපතිවරයා විසින් කර ඇති දැනුම්දීම මත මෙම විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා දීමට හැකියාවක් නැති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් නිවේදනය කළේය. ඊට එරෙහිව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එදින පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ බලය යටපත් කිරීමට නීතිපතිවරයාට ඉඩ නොතබන ලෙසය.

ඒ අනූව පක්ෂ නායකයින් ඊයේ (13 වැනිදා) රැස්වී ඉහත තීන්දුවට එළැඹි බව එම රැස්වීමට සහභාගිවූ මන්ත්‍රීවරයෙක් පැවැසීය. පක්ෂ නායක රැස්වීම කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

එමෙන්ම දැනට හිස්ව පවතින කොළඹ ශ්‍රාවස්ති මන්දිරය යළි මන්ත්‍රීවරුන්ගේ පරිහරනයට ඉතා ඉක්මණින් ලබා දෙන ලෙසට සභා නායක ඇමැති දිනේශ් ගුණවර්ධන මෙම රැස්වීමේදී කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

කෝප් කමිටුව ඇතුළුව දැනට අහෝසි වී ඇති පාර්ලිමේන්තු කමිටුවලට අලුතින් සාමාජිකයන් නම් කිරීමේ කටයුත්ත සඳහා තේරීම් කාරක සභාවක් පත් කීරීමට මෙම බ්‍රහස්පතින්දාට (16 වැනිදා) පස්වරු 3.00 ට පෙර දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ නම් ලබා දෙන ලෙසද මෙහිදී කථානායකවරයා පක්ෂ නායකයන්ට දැනුම්දී ඇත.

මේ අනුව තේරීම් කාරක සභාව සඳහා අදාළ පක්ෂ විපක්ෂ නියෝජිතයන්ගේ නම් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙසද කථානායකවරයා දැනුම් දී තිබේ.

තවද ජනවාරි 21,22, යන දිනයන්හිදී ප.ව 1.00 සිට 6.30 දක්වා ද 23,24 යන දිනයන්හි පෙ.ව 10.30 සිට ප.ව 6.30 දක්වා ද පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.

මේ අනුව 21 වැනිදා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ද, 22 වැනිදා ඉදිකිරීම් කර්මාන්ත හා සංවර්ධන පනත යටතේ නියෝග 03ක් ද , 23 වැනිදා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නියෝග 04ක් ද විවාදයට ගැනීමට නියමිත අතර 24 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා වෙනුවෙන් ශෝකය පළකිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

පක්ෂ නායක රැස්වීමට සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා , පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අය සහභාගී වී ඇත.

අජිත් අලහකෝන්