මට ලැබුණු තෑග්ග විකුණලා මම ව්‍යාපාරයක් පටන්ගත්තා
‘තෑග්ගෙන් තෑග්ග උතුම්ම තෑග්ග’ යැයි කියමනක් අප අසා තිබේ. නමුත් තෑගිවල වටිනාකම මැනෙන්නේ ඒවායේ මිල මත පදනම්ව පමණක් නොව, ඒ තෑග්ග නිසා තෑග්ග ලබන්නාගේ ජීවිතයට වැටෙන එළිය මතයි. කිරිල්ලවල, වෑබඩ පදිංචි කසුනි තාරිකා පතිරණටත් මීට වසර දෙකකට ඉහත දී ලැබුණු එවැනි තෑග්ගක් නිසා ඇගේ ජීවිතය එළිය වූ කතාවයි අපි මේ ඔබට කියන්නට යන්නේ. අද කසුනි කියන්නේ, Misa Online නම් වූ සාර්ථක ව්‍යාපාරයක හිමිකාරිනියක්.
“මට මීට හය හතකට කලින් ගම්පහ දිස්ත්‍රික්කයේ වතුරුගම කියන ගමේ ඉඳලා වෑබඩට එන්න වුණේ මගේ විවාහය නිසා. මගේ මහත්තයාගේ ගම වෑබඩ. එහේ ඔහු මහා පරිමාණ අන්නාසි වගාවක් සහ ව්‍යාපාරයක් කරගෙන ගියා.”
කාසියේ වාසිය උදා කරලා දීපු සැමියාගේ මේ අන්නාසි ව්‍යාපාරයට කසුනිත් තමන්ට හැකි උපරිමයෙන් දායක වෙලා. ඒත් තමන්ගේ ආර්ථික ප්‍රශ්න අකා මකා දාන්න උදව් වෙච්ච අන්නාසි ව්‍යාපාරයට කණකොකා හඬලා තියෙන්නේ කසුනිලා හීනෙකින්වත් නොහිතපු විදියට.
“මුලින් අපි අන්නාසි ව්‍යාපාරය හොඳට කරගෙන ගියා. අපි දෙන්නගේ හැම බලාපොරොත්තුවක්ම රැඳිලා තිබුණේ ඒ ව්‍යාපාරය උඩ. ඒත් කාලයත් එක්ක හැමදේම වෙනස් වුණා. එක එක ප්‍රශ්න නිසා මහත්තයා අවුරුදු ගාණක් මහන්සි වෙලා ගොඩනගාගත් අන්නාසි ව්‍යාපාරය අපේ ඇස් පනාපිටම කඩාගෙන වැටුණා.”
අන්නාසි ව්‍යාපාරය කඩා වැටෙනවාත් එක්කම කසුනිලාගේ පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගයත් කඩාගෙන වැටුණා. ඒ තත්ත්වය තවත් බැරෑරුම් වුණේ මේ දෙපළ දුවෙකුගේත්, පුතෙකුගේත් මව්පියන් වුණු නිසයි.
“ඒ වෙලාවේ මමයි, මහත්තයයි සෑහෙන්න කල්පනා කළා අපට එකතුවෙලා කරන්න පුළුවන් දෙයක් ගැන. බැරිම තැන මගේ මහත්තයා හයර් දුවන්න පටන් ගත්තා. ඒකෙන් ආදායමක් ලැබුණත් මට ගෙදරට වෙලා නිකරුණේ කාලය ගත කරන්න හිත දුන්නේ නැහැ.”
ඒ නිසා කසුනි විටෙක කුඩා ළමුන්ගේ ඇඳුම් අලෙවි කළා. එය අසාර්ථක වුණ තැන ඇය වූල්වලින් සෙරෙප්පු ගොතා අලෙවි කළා. ඊට අමතරව ඇය තවත් ව්‍යාපාර බොහෝමයක් අත්හදා බැලුවේ, පවුලේ ආර්ථිකයට සවියක් වෙන්න හිතාගෙන. ඒත්, ඒ කිසිවකින් කසුනි අපේක්ෂා කළ අන්දමේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.
“ඒ අතරතුරේ දවසක් මගේ යාළුවෙකුට බෙඩ්ෂීට් හතරක් ලැබිලා එයා ඒවා මට තෑගි කළා.”
තෑග්ගෙන් තෑග්ග උතුම්ම තෑග්ග වුණාට කසුනිට මේ තෑග්ග ඊටත් වඩා විශේෂ වුණ බවයි ඇය අපට පැවසුවේ.
“ඒ වෙලාවේ මට හිතුණෙම මේ බෙඩ්ෂීට් හතර විකුණන්න. මම ෆේස්බුක් එකේ ඒ බෙඩ්ෂීට් හතරේ ඡායාරූප පළ කළා. ඒ ඡායාරූප දැකලා මගේ හිතවතුන් කිහිප දෙනෙක්ගෙන් මට ඇණවුම් ලැබුණා. ඒත් පස්සෙ පස්සේ ඒ ලැබුණු ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදෙන්න හැකියාවක් මට තිබුණේ නෑ. මොකද මා සතුව බෙඩ් ෂීට් ලොකු ප්‍රමාණවලින් මිලදී ගන්න ප්‍රාග්ධනයක් තිබුණේ නැහැ.”
ඒ ප්රාග්ධනය සපයාගැනීම වෙනුවෙන් කසුනි ඊළඟට කළේ ඇගේ කණ කර බඩු උකස් කරපු එක.
“ඒක අවදානම් වැඩක් වුණත් එහෙමයි කියලා පටන් ගත්ත වැඩේ අතරමග නතර කරලා දාන්න මට හිතුණේ නෑ. ඒ නිසා මම මුල ඉඳන්ම සැලසුමක් ඇතුව වැඩ කළා. එතැනදී මම ආවට ගියාට බෙඩ්ෂීට් අලෙවි කළේ නෑ.”
ආවාට ගියාට මේ වැඩේ කරන්න බැරි නිසා කසුනි මුලින්ම කරලා තියෙන්නේ වෙළෙඳපොළ ආශ්‍රිතව අධ්‍යයනයක් සිදුකරපු එක.
“එතනදි මම දැකපු දෙයක් තමයි ලංකාවේ බොහෝ දෙනෙක් බෙඩ්ෂිට් අලෙවිය සිදු කරන බව. ඒ නිසා මට ඕනෙ වුණා හැමෝම කරන දේ වුණත් වෙනසක් ඇතුව කරන්න. ඒ නිසා මම බෙඩ්ෂීට්වලින් පැකේජස් නිර්මාණය කළා. පාරිභෝගික ඉල්ලුමත් කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා පාරිභෝගිකයන්ගේ අදහස්වලට නිතරම මුල්තැන දුන්නා. ඒ නිසාම පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් අඩු කාලයක් ඇතුළත ගොඩනගාගන්න මට පුළුවන් වුණා.”
එම පාරිභෝගික පිරිසට අමතරව දිවයින පුරා ඇතැම් තොග වශයෙනුත් කසුනි මේ වෙද්දී බෙඩ්ෂීට් අලෙවිය සිදු කරනවා. හැබැයි, මේ හැමදේම කසුනි කරන්නේ තනිව නෙවෙයි. ඇගේ සැමියා, දරු දෙදෙනා වගේම ඇය යටතේ සේවය කරන තවත් දෙදෙනෙකුගේ සහායත් ඇයට ලැබෙනවා.
හැමෝගෙම සහායෙන් කරගෙන යන මේ ව්‍යාපාරයෙන් ඇය මේ වෙද්දී තමන්ටම කියලා වාහනයකුත් මිලදීගෙන. ඊට අමතරව තමන්ගේම කියලා වෙළෙඳසලක් ආරම්භ කිරීමටත් ඇය ඉදිරියේ දි අපේක්ෂා කරනවලු. ඒ තරමට ඇය ව්‍යාපාරයෙන් ලාබ ලැබුවත්, සමහර වෙලාවට ඇයට පාඩු ලැබෙන අවස්ථාත් නැතුවාම නෙවෙයි.
“ව්‍යාපාරයක් පටන් ගන්න එකට වඩා අමාරුම දේ තමයි ඒක දිගින් දිගටම පවත්වාගෙන යන එක. එතනදි ලාභ අලාභ කියන්නේ පොදුවේ කාටත් අත්විඳින්න සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒ බව තේරුම් අරගෙන ලාභ අලාභ හමුවේ නොසැලී ඉදිරියට යන එක තමයි මම හිතන විදියට සාර්ථකත්වයට අවශ්‍ය වෙන්නේ.”
ඉතින් ඒ සාර්ථකත්වය සොයා බෙඩ්ෂීට් හතරකින් ආරම්භ කරපු කසුනිගේ ව්‍යාපාරික ගමන අද වන විට Misa Online නමින් රට පුරා ජනප්‍රිය වෙලා තියෙනවා.
කසුනිගේ කතාව අපට කියාදෙන්නේ ජීවිතය අපට ලබාදෙන ඉතාම කුඩා අවස්ථාවක් වුවත් නිවැරදිව භාවිත කිරීමෙන් සාර්ථකත්වයට පත්වෙන්න පුළුවන් කියන එක නෙවෙයි ද…?
නෙත්මි තෂාරා
