News

මත්තෙගොඩදි වෑන් රථයක් කොල්ල කා පලායමින් සිටියදී හමුදාවෙන් වෙඩි කෑ සැකකරු මරුට

මත්තෙගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැර ගෙන පළා යමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු මියගිය බවයි.

මත්තේගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැර ගෙන පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට පානදුර පින්වත්ත ප්‍රදේශයේදී යුද හමුදාව වෙඩි තැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, පොලීසිය දෙසට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහ කිරිමේදී යුද හමුදාව සැකකරුගේ පාද වලට වෙඩි තබා ඇති බවයි.

ඊයේ පස්වරු 7.30 පමණ මෙම සැකකරුවන් ගල්කටස් ගිනි අවිය පෙන්වා මෙම වෑන් රථය පැහැර ගෙන ගෙන ගොස් තිබිණ.

වෑන් රථයේ සවිකර තිබූ ජි.පි.එස්.උපකරණය මගින් වෑන් රථය ගමන්ගන්නා මාර්ගය ද පැමිණිලිකරු විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව අගුරුවාතොට පොලීසියේ නිලධාරීන් සිව් දෙනෙකු යතුරුපැදි දෙකකින් අදාළ වෑන් රථය පසුපස හඹාගොස් ඇත.

මෙම වෑන් රථය ගාලු පාර ඔස්සේ වාද්දුව දෙසට ගමන් කිරිමේදී වාද්දුව පොලීසිය විසින් ගාලු පාරේ පිහිටි යුද හමුදා සහ පොලිස් ඒකාබද්ධ මාර්ග බාධකය වෙත දැනුම් දී තිබේ.

එහිදී ආරක්ෂක අංශ වෑන් රථයව නැවැත්වීමට උත්සහ කර ඇති අතර, එහි සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකු යටකර වෑන් රථය ධාවනය කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

පොලීසිය පැවසුවේ එහිදී යුද හමුදා සමාජිකයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, තවත් අයෙකු සුළු තුවාල ලබා ඇති බවයි.

අනතුරුව වෑන් රථය ගාලු පාර ඔස්සේ පානදුර දෙසට ගමන් කිරිමේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරී කණ්ඩායමක් ද ඔවුන් පසු පස ලුහුබැඳ ගොස් පොලිස් ජීප් රථය වෑන්රථය ඉදිරියෙන් හරස් කොට වෑන් රථය නතර කර තිබේ.

එම අවස්ථාවේදී පලා යාමට තැත් කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසියට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ යුද හමුදාව සැකකරුට වෙඩි තබා තිබිණ.

වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරු එම ස්ථානයෙන් පළාගොස් තිබේ.