මධුෂ්ගේ කොල්ලකෑම් මෙහෙයවන්න ශ්‍රී ලංකාවේ පරිගණක උපදේශකයෙකුත් ඉඳලා
රුපියල් කෝටි 700ක දියමන්ති කොල්ලය, දෙවුන්දර කුඩු කොල්ලය ඇතුළු පාතාල මෙහෙයුම් ඩුබායි සිට ගූගල් තාක්ෂණය මගින් මෙහෙයවීමට මාකඳුරේ මධුෂ් වෙනමම තාක්ෂණික උපදේශකයකු ශ්‍රී ලංකාවේ තබාගෙන සිටි බව හෙළිවී ඇත.
බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ වූ විශේෂ පොලිස් කණ්ඩායමක් කඩුවෙලදී පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් මධුෂ්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනාගෙන් අයෙකු මෙසේ පරිගණක විද්‍යාව පිළිබඳ තාක්ෂණික උපදේශකයකු ලෙස කටයුතු කර ඇති බව හෙළිව තිබේ.
කෝටි 700 දියමන්ති කොල්ලය ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මගින් වෙනමම ඇප් එකක් යොදා මෙහෙයවීමට හැකි තාක්ෂණය මධුෂ්ට ලබාදෙමින් මොවුන් දෙදෙනා කොල්ලයට ගිය කණ්ඩායමෙන් එම දියමන්තිය හා ආයුධ ලබාගෙන ඩුබායිවලට යැවීමට කටයුතු කළ අය බවද හෙළිවී ඇත.
මධුෂ්ගේ පියාගේ අවමඟුල දා වයිෆයි තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයෙන් බැලීමට කැමරා සහ අනෙකුත් උපාංග සවිකර ඇත්තේ මොහු බව හෙළිවී තිබේ. පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතන සැලසුමක් ගූගල් තාක්ෂණය ඔස්සේ කිරීමට මධුෂ් මොහුගේ සහාය ගෙන ඇතැයි හෙළිව තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා