News

මහා පරිමාණ ව්‍යාපාරිකයෝ 03ක් කුකුල් ව්‍යාපාරිකයින් 7000ට කොටති

කුකුල් මස් හා බිත්තර මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් හත් දහසක් පමණ දැඩි අර්බුදයකට මුහුණ පා ඇති නිසා ඒ සඳහා සොයා බැලීමට නියාමන කමිටුවක් පත් කරන ලෙස සුළු හා මධ්‍ය පරිමාණ බ්‍රිඩ බොයිලර් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

පැටව් බිහි කිරීම සඳහා යුරෝපයෙන් ගෙන්වන ග්‍රෑන්ඩ් හේන්ච් සතුන් මෙරටට ගෙන එන්නේද මෙම මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනා වන අතර ඔවුන් විසින්ම පැටව් නිෂ්පාදනය කරනු ලබන මව් සතුන්ද නිෂ්පාදනය කරයි. ඔවුන්ට අමතරව තවත් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 34 දෙනකු විසින්ද පැටව් නිෂ්පාදනය කරයි.

එම සංගමයේ සභාපති ඒ.ඩී.ටී. හේමන්ත පැවසුවේ මෙම මහා පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 34 දෙනා විසින් පැටව් නිෂ්පාදනය කිරීමට අමතරව මහා පරිමාණයෙන් කුකුල් මස් හා බිත්තර නිෂ්පාදනය කිරීම නිසා සුළු ගොවි ව්‍යාපාර කුකුල් නිෂ්පාදකයින්ගේ ව්‍යාපාර වැසී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බවයි.

මෙරට වසරකට ඒකපුද්ගල කුකුල් මස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 9ක් වන අතර වසරකට අවශ්‍ය පැටව් මිලියන 149ක් වුවත් අදාළ සමාගම් පැටව් මිලියන 155ක් නිෂ්පාදනය කරන බව වාර්තා වේ.

කුකුල් මස් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 230ක් පමණ වැය වන බව එම සංගමය කියයි.

එහෙත් තමන්ට කිලෝව රුපියල් 200 – 220 කටවත් අලෙවි කර ගැනීමට නොහැකි වුවද පාරිභෝගිකයාට මස් කිලෝවක් රුපියල් 400කට වැඩි මුදලකට මිලදී ගැනීමට සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.

චමින්ද සේනාරත්න