News

“මහා ශිව රාත්‍රී දින ” ජනපති පණිවුඩය

මහා ශිවරාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකවත් කරන්නා සේම සමස්ත සමාජය පුරා සාමය, සංහිඳියාව සහ සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසන්නේ මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වෙයි.

ශිව දෙවිඳුන්ගේ ආලෝක කදම්භයෙන් මෝහාන්ධකාරය දුරුකොට, ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනය පෙරදැරිව, ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමත්හු, අනාදිමත් කාලයක සිට මහ ශිවරාත්‍රී දින මහත් භක්තියෙන් යුතුව ස්වකීය ආගමික වතාවත්හි නිරත වෙති.

ලොව බලවත්ම දෙවිඳුන් ලෙස ඔවුන් පිළිගන්නා ශිව දෙවියන්ගේ ආශිර්වාදය සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය අභිවෘද්ධියටත්, ආධ්‍යාත්මික පෝෂණයටත් ප්‍රබල පිටිවහලක් බව හින්දූන්ගේ විශ්වාසයයි.

හින්දු සාහිත්‍යයේත්, ජන සමාජයේත් උත්තම දිනයක් බවට පත්ව ඇති මහ ශිවරාත්‍රී දින ඔවුහු නිදි වර්ජිතව, සංස්කෘතික අගයක් සහිත විවිධ වූ කාර්යයන්හි නියැළෙමින් ශිව දෙවියන්ට පූජෝපහාර කරති. එමගින් සර්ව කාලීන ආශිර්වාදය අපේක්ෂා කරති. සිත තැන්පත් කරගනිමින් භාවනානුයෝගීව මහා ශිව දෙවි ආවර්ජනය කිරීමෙන් ආත්මය සුවපත් වන බව හින්දු බැතිමත්හු අදහති.

අතීතයේ පටන් ශ්‍රී ලාංකේය හින්දු ලබ්ධිකයන්ගේ මේ විචිත්‍රවත් සංස්කෘතික උළෙල

අපේ ජන සමාජයට අමිල වටිනාකමක් එක් කළේය. බහුවිධ සාහිත්‍ය කලා සේම, නර්ථනයන් බිහිකිරීමට ද මේ ආගමික චාරිත්‍රය හේතු වී තිබේ.