News

මැණික් රට යවලා ඩොලර් මිලියන 28ක ආදායමක්

මෙම වසරේ ගෙවී ගිය මාස දෙකක කාලයේදී පමණක් මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 28ක ආදායමක් ලැබී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ වන විට ලෝක වෙළෙඳපොළට ගුණාත්මකභාවයෙන් යුතු නිල් මැණික් සහ තවත් වටිනා මැණික් ගල් වර්ග අපනයනය කරන රටවල් අතර නව වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

පසුගිය 2020 වසරේදී මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 148ක ආදායමක් ලැබී ඇත. එම වසරේදී මැණික් සහ ස්වර්ණාභරණ වැඩි වශයෙන් අපනයනය කළ රට බවට ඊශ්‍රායලය පත්වී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 64ක ආදායමක් ඊශ්‍රායලයෙන් මෙරටට ලැබී තිබේ.

මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් දෙවනුවට විශාලතම අපනයන ආදායමක් ලැබී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම ආදායම ඩොලර් මිලියන 24කි.

හොංකොං රාජ්‍යය, තායිලන්තය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය යන රටවල් ශ්‍රී ලංකාව මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය කරන ප්‍රමුඛ රටවල් වෙයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවලින් දැක්වෙන පරිදි මෙතෙක් වාර්තා වූ ​ඉහළම අපනයන ආදායම මෙරටට ලැබී ඇත්තේ 2011 වසරේදීය. එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 491කි

අශිකා ජයවීර