මුඛ ආවරණ පාලන මිල ඉවත් කරන්නැයි -නිෂ්පාදකයෝ ඉල්ලති
දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා මුඛ ආවරණවලට පනවා ඇති පාලන මිල වහාම ඉවත් කරන ලෙස දේශීය නිෂ්පාදකයෝ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඊයේ (10 වැනිදා) ඉල්ලා සිටියහ.
දේශීය වෙළෙඳ පොළේ මතුව ඇති මුඛ ආවරණ හිඟය පිළිබඳව ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මුඛ ආවරණ නිෂ්පාදිත සමාගම් තුනක නියෝජතයෝ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
එහිදී සමාගම් නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ අමුද්‍රව්‍ය මිල අට ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් අමුද්‍රව්‍ය චීනයෙන් සපයා ගැනීමේ ගැටලුවකටද ඔවුන් මුහුණ දී සිටිති. නමුත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මුඛ ආවරණ රුපියල් 55 කට චීනයට අලෙවි කිරීමට නිෂ්පාදිත සමාගම් කටයුතු කර ඇත.
අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා පාලන මිල වන රුපියල් 15 කට මුඛ ආවරණ අලෙවි කළ නොහැකි බව සමාගම් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ. පාලන මිල රුපියල් 45 දක්වා වැඩි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටීමට මෙහිදී තීන්දු කර ඇත.
මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියද දැනුවත් කරන බව සභාපතිවරයා පැවැසීය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් මුඛ ආවරණ පවතින බව වාර්තා වෙයි.
මුඛ ආවරණ නිෂ්පාදන සමාගම් වෛද්‍ය සැපයුම් අංශයට එක් මුඛ ආවරණයක් ලබා දෙන්නේ රුපියල් 2.50 ක් වැනි මුදලකටය.
උදයජීව ඒකනායක
