News

මෙවර ඉදිරිපත් කරන අයවැයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් විතරයි

වත්මන් රජය මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අද (04) මහනුවරට පැමිණ අස්ගිරි මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන්ගෙන් ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

මහජන එක්සත් පෙරමුණේ 22 වන සම්මේලයේදී සම්මත කර ගන්නා ලද අනාගතය සඳහා අලුත් ආණ්ඩුවක් අලුත් වැඩපිළිවෙළක් ගොඩනැගීමේ උත්සාහය පිළිබදව වූ වැඩපිළිවෙල මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීම සඳහා පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද දින අස්ගිරි මල්වතු මෙන්ම රාමඤ්ඤ මහ නාහිමිවරුන් බැහැ දැකීම සඳහා පැමිණ සිටියා.

පසුව දිනේෂ ගුණවර්ධන මහතා , මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි මහ නාහිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.