News

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනනාත් වරකාගොඩට ඇප

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් කාන්තාවක් මියයාමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත මුදා හැර ඇත.

ඔහු මුදල් ඇප හා ශරීර ඇප මත මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 12 වනදා උදැසන කිරිල්ලවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවක් මෝටර් රථයේ ගැටී මිය යාමේ සිද්ධියට අදාළව එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ජනනාත් වරකාගොඩ මහතා කඩවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අතර මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් අනතුරුව අද (18) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.