News

රත්නපුරේ බාල අපරාධ ඉහළට

රත්නපුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 17ට 2019 හා 2020 වසර දෙක තුළදී පමණක් පිරිමි ළමා අපරාධ 334ක් හා කාන්තා අපරාධ 82ක් වාර්තා වී ඇතැයිද එමගින් මරණ 20ක් සිදුව ඇතැයිද ඊට අමතරව ලිංගික අතවර 143ක්ද වාර්තා වී ඇතැයිද රත්නපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ජී. පුෂ්පලතා පැවැසූවාය. ඇය මේ බව සඳහන් කර සිටියේ පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගමගේ ප්‍රධානත්වයෙන් පැවති රත්නපුර දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් අදහස් දැක් වූ ඇය මෙසේද පැවැසූවාය. රත්නපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන 17ක් තියෙනවා. මෙම පොලිස් ස්ථාන වෙත 2019 වර්ෂය තුළ වාර්තා වී ඇති ළමා අපරාධ පිළිබඳ අවධානය යොමු කිරීමේදී වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 02 ක් වන අතර, මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධ අපරාධ 02 ක්ද, ස්ත්‍රී දූෂණ 77ක්ද, ව්‍යාභිචාරය සම්බන්ධ අපරාධ 04 ක්, බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධ අපරාධ 45 ක්, අපහරණය සම්බන්ධ අපරාධ 39ක්, පැහැරගෙන යාම් 03 ක්, කෘරත්වයෙන් සැලකීම් සම්බන්ධ වැරදි 02 ක්, බරපතළ තුවාල සිදු කිරීම් 01ක්, බාල අපරාධ 175ක් වාර්තා වෙනවා.

එමෙන්ම 2020 වර්ෂයේ රත්නපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත, වාර්තා වී ඇති ළමා බල අපරාධ පිළිබඳ අවධානය යොමු කිරීමේදී, වාර්තා වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 03 ක් වන අතර, මිනී මැරීමට තැත් කිරීම් 01 ක්ද, ස්ත්‍රී දූෂණ 68 ක්ද, ව්‍යාභිචාරය සම්බන්ධ අපරාධ 05 ක්ද, බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධ අපරාධ ගණන 40ක්ද, අපහරණය සම්බන්ධ අපරාධ 34 ක්ද, පැහැරගෙන යාම් 02 ක්ද, කෘරත්වයෙන් සැලකීම් සම්බන්ධ අපරාධ 03 ක්ද, බරපතළ තුවාල සිදු කිරීම් 03 ක්ද, ලෙස 2020 වර්ෂය තුළ වාර්තා වුණු ළමා බල අපරාධ සංඛ්‍යාව 159 ක් වනවා.

එමෙන්ම රත්නපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත 2019 වර්ෂය තුළ මනුෂ්‍ය ඝාතන 10ක්, ස්ත්‍රී දූෂණ 13ක්, ව්‍යාභිචාරය සම්බන්ධ අපරාධ 01ක්, බරපතළ තුවාල සිදු කිරීම් 23 ක්ද, පැහැරගෙන යාම් 06 ක් හා කාන්තා බාල අපරාධ සංඛ්‍යාව 53 වාර්තා වනවා.

එමෙන්ම රත්නපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත 2020 වර්ෂයේදී මනුෂ්‍ය ඝාතන 05ක්, මිනී මැරීමට තැත්කිරීම සම්බන්ධ අපරාධ 02 ක්ද, ස්ත්‍රී දූෂණ 12ක්ද, බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධ අපරාධ 01ක්, බරපතළ තුවාල සිදු කිරීම් 07 ක්ද, කුට්ටනය සිදු කිරීම සම්බන්ධ අපරාධ 02ක්ද එමෙන්ම රත්නපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත 2019 වර්ෂය තුළ වාර්තා වී ඇති ළමා සුළු අපරාධ පිළිබඳවද මෙහිදී ඇය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියාය. එම වර්ෂය තුළ ලිංගික අතවර 69 ක් හා පහර දී තුවාල සිදු කිරීම් 26ක් ඇතුළුව 2019 වර්ෂය තුළ ළමා සුළු අපරාධ 95 ක් වර්තා වී තිබෙනවා. එමෙන්ම රත්නපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත 2020 වර්ෂය තුළ වාර්තා වී ඇති ළමා සුළු අපරාධ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී, වාර්තා වූ ලිංගික අතවර සිදුකිරීම් සංඛ්‍යාව 74ක් බවද ඇය පැවසුවාය.

සුනිල් පියතිලක-කුරුවිට