News

රතු නිවේදන පිට සිටි මාලදිවයින් අපරාධකරු ලංකාවට පැන ඇවිත්

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදී මෙරටට පැන ශ්‍රී ලාංකික කතක් විවාහ කරගෙන වසර දෙකක් සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අපරාධකරුවෙකු මාලදිවයින් රජයට භාරදීමට යයි.

මුසා මොහමඩ් (46) නමැති මාලදිවයින් ජාතිකයා මෙලෙස මෙම සතියේ පී.සී.ආර්. පරීක්ෂණයක් කිරීමෙන් පසු එරටට භාරදීමට නියමිතය.

මාලදිවයිනේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉදිකරන බව හඟවා එරට ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි විස්සක පමණ මුදලක් වංචා කර ඇති සැකකරු එරට පොලිසියට අවශ්‍යව සිටියදී මෙරටට පැනවිත් ඇත.

ඉන්පසුව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙරට ඉන්ටර්පෝල් ශාකාවටද මේ බව දන්වා ඇත.

පසුව සැකකරු හෝටලයක නැවතී සිටින බවට ලද තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාරවිල පොලිසිය සමග එක්ව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

තලවිල ප්‍රදේශයේ හෝටලයක මසකට රුපියල් පනස්දහස බැගින් ගෙවා මෙම සැකකරු නැවතී සිට ඇත.

පසුගිය 14 වැනිදා සැකකරුව අත්අඩංගුවට ගන්නා විට 2019 සිට වීසා නොමැතිව මෙරට රැඳී සිට ඇති බවද හෙළිවී ති‌බේ. එම සැකකරු අනුරාධපුරේ කාන්තාවක හා විවාහ වී ඇති බවත් එම කාන්තාව හෝටලයට විටින් විට ගෙන්වා ගනිමින් හෝටලයේම රැඳී සිටි ඇති බවත් හෙළිවී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මීගමුව බන්ධනාගාරයට යොමුකර ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් මාලදිවයින වෙත පිටුවහල් කිරීමට පියවර යොදා තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා