News

රූපවාහිනි හා ගුවන් විදුලි බලපත්‍ර නිකුත් කිරීමට කමිටුවක්

රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද(05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව දැනුම් දී තිබේ.

මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන බලපත්‍ර 27ක් සහ රූපවාහිනී විකාශන බලපත්‍ර 54ක් නිකුත් කර ඇතත් ගුවන් විදුලි විකාශන බලපත්‍ර 18ක් සහ රූපවාහිනී විකාශන බලපත්‍ර 28ක් පමණක් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම පිණිස පත් කරන ලද කමිටුවක් විසින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස වෙනම ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර ඒ සඳහා ‘විකාශන නියාමන කොමිෂන් සභා’ යනුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම තුළින් එම කොමිෂන් සභාව මඟින් ඉටුකරවා ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහාත්, ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම පිණිස තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.