News

රෝගියා වෙනත් රෝහලකට මාරු කළැයි වෛද්‍යවරයාට තර්ජනය කරලා

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඊයේ (7) දින රාත්‍රියේ පැමිණි පිරිසක් රාජකාරියේ සිටි වෛද්‍යවරයෙකුට සහ කාර්ය මණ්ඩලයේ පිරිසට බැන තර්ජනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රි 11ට පමණ මෙම පිරිස ශ්වසන ආබාධයක් සහිත රෝගියෙකු රෝහලට රැගෙන විත් ඇත.

එම රෝගියාව පරික්ෂා කර රෝගීයාගේ රෝග ලක්ෂණ අනුව ක්ෂණිකව එම රෝගියාව දික්ඔය මුලික රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇත.

රෝහලට ඇතුළත් කළ රෝගීයා දික්ඔය මුලික රෝහලට මාරු කර යැවිමට විරෝධය පාමින් රෝගියා සමඟ පැමිණි 70 ක පමණ පිරිසක් වෛද්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කර වෛද්‍යවරයාගේ මෝටර් රථයට සහ රෝහලේ ගිලන් රථයට පහර දී රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ සෞඛ්‍ය ආරක්ෂිත දැන්විම් කිහිපයක් ද ඉරා ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි එල්.එල්.ආර්.අයි දිලක්ෂි මහත්මිය පවසයි.

රෝගීයා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර මිය යාමෙන් පසු සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ බව අනාවරණය වී ඇත.