ලංකාව විවේචනය කරන සංශෝධිත වාර්තාව අද ජිනීවා කොමිසමට
එක්සත් රාජධානිය ඇතුළු රටවල් 05ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද විවේචනාත්මක වාර්තාවේ සංශෝධිත පිටපත අද (08 වැනිදා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය ජනවාරි 24 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධ අදාළ වාර්තාව බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝව සහ උතුරු මැසඩෝනියාවත් ඒකාබද්ධව කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ අතර ඉන් දින කිහිපයකට පසුව එම යෝජනාවට විරෝධය පළකරමින් ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීය.
රටවල් පහේ මෙම යෝජනාවට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ සංශෝධනවලින් කිහිපයක් ඇතුළත් කර ඇති බව ජිනීවා වාර්තා අනාවරණය කරන නමුත් එම සංශෝධන වාර්තාවටද විරෝධය පළකිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි. ශ්‍රී ලංකාව විරෝධතා ඉදිරිපත් කළද එකඟ විය හැකි ආකාරයට මූලික වාර්තාවට සංශෝධන ඉදිරිපත් කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා නොකරන බවද විදේශ ලේකම්වරයා සඳහන් කරයි.
මෙම සංශෝධන යෝජනාව හෙට (09 වැනිදා) සිට කවුන්සිලයේ ඡන්දය සඳහා විවෘත වේ. මෙවර සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන බැවින් ඡන්ද විමසීම පිළිබඳ නිශ්චිත දිනය ප්‍රකාශ කිරීම තහවුරු කළ නොහැකි බව මානව හිමිකම් කවුන්සිලය පසුගිය සති අන්තයේ ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පිළිබඳ මූලික ඡන්ද විමසීමක් හෙට (09 වැනිදා) පැවැත්වීමට හැකි වනු ඇතැයි කවුන්සිලය පසුගිය සතිය ආරම්භයේ දී ප්‍රකාශ කර තිබිණි.
මෙම යෝජනාවලිය පිළිබඳ මූලික වටයේ අවිධිමත් සාකච්ඡා වටවලදී රටවල් 21ක් පමණ ශ්‍රී ලංකාවට සහාය පළකරමින් අදහස් දක්වා තිබුණු අතර ශ්‍රී ලංකාවට විරෝධය පළකරමින් යෝජනාවට පක්ෂව සිටින ලද්දේ රටවල් 15කි. කෙසේ වෙතත් අවසන් ඡන්ද විමසීමේ දී මෙම සංයුතිය වෙනස් වී ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට හේතු වී ඇත්තේ යෝජනාවට පක්ෂ බටහිර රටවල් විසින් ආර්ථික සහ ආරක්ෂක තත්ත්වයන් පදනම් කර ගනිමින් මේ වන විටත් අප්‍රිකානු ආසියා-පැසිපික් කලාපවල ශ්‍රී ලංකාවට පක්ෂ රටවලට දැඩි ලෙස බලපෑම් කිරීම ආරම්භ කර තිබේ.
නයන තරංග ගමගේ