News

ලක්ෂ 39ක් වටිනා රන් පෙන්ඩන්ට් සමග තිදෙනකු අත් අඩංගුවට

සාදා නිම නොකළ කැරට් 24 රත්තරන් වලින් පෙන්ඩන්ට් හැඩයට නිර්මාණය කළ ස්වර්ණාභරණ තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොවුන් තිදෙනා අත් අඩංගුවට ගෙන, වැඩිදුර පරීක්ෂණ සදහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි.

මොවුන් 39 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේත්, 29 හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේත් සහ කොළඹ – 15 ප්‍රදේශයේත් පදිංචි ව්‍යාපාරිකයන් වනවා.

මොවුන් ඊයේ රාත්‍රියේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් තිදෙනා මෙම පෙන්ඩන්ට් යළි ශ්‍රී ලංකාවේ දී උණු කර වෙනත් ස්වර්ණාභරණ සෑදීමේ අදහසින්, තම ඇදුම් තුළ වූ සාක්කු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

මෙම පෙන්ඩන්ට් රුපියල් 39,31,850 ක් වටිනා ග්රෑම් 639 බරකින් යුතු බව රේගු නිලධාරීන් තක්සේරු කර තිබෙනවා.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ චාමිකා මුම්මුල්ලගේ මහත්මිය විසින් පැවැත්වූ අතර , එහිදී මෙම රත්තරන් තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයන් තිදෙනාට රුපියල් 10,000 බැගින් රුපියල් 30,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.