News

ලක්ෂ දෙකක් අල්ලස් ගත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දස වසරක් හිරගෙට

අභ්‍යාසලාභී ගුරුවරයකුගේ සේවය ස්ථිර කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලස් ගත් නිකවැරටිය කලාප හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරියට බරපතළ වැඩ සහිත වසර 10ක සිරදඬුවමක් නියම කරන ලදී.

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි නිසංසලා ස්වර්ණමාලී නමැති විත්තිකාරියට මෙසේ දඬුවම් නියම විය.

එම සිරදඬුවමට අමතරව විත්තිකාරියට රුපියල් විසි දහසක දඩයක්ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව බරපතළ වැඩ සහිත වසර 02ක සිරදඬුවම් නියම කරන බවද සඳහන් කර සිටියේය. විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ දෙකක දණ්ඩනයක්ද ගෙවිය යුතු බවත් එම දණ්ඩන මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව බරපතළ වැඩසහිත එක් වසරක සිරදඬුවමක්ද නියම කරන බවත් තීන්දුවේ දැක්වේ.

2016 වසරේ ජුනි මස 01 වනදා සහ එම වසරේ ජූලි මස 01 වනදා අතර කාලසීමාවේ නිකවැරටිය ප්‍රදේශයේ පාසලක සේවය කළ අභ්‍යාසලාභී ගුරුවරයකුගේ සේවය ස්ථිර කිරීමට හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරිය රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ඇත. අනතුරුව එම මුදල අදාළ ගුරුවරයාගෙන් අල්ලසක් වශයෙන් ලබාගත් අවස්ථාවේදී විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන්පසුව අල්ලස් කොමිසම විසින් විත්තිකාරියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

අධිකරණ වාර්තාකරු