News

වත්මන් රජයේ පස්වන අයවැය අද පස්වරුවේ

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණ යන මූලික තේමාවෙන් වත්මන් රජයේ පස්වන අයවැය අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතා ඉටු කිරීම අරමුණුකරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වුණේ, ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරනු ඇති බවයි.

දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 කි.

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබෙන අතර මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් පමණ වනු ඇති.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අයවැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන රජය 2015 වසරේ සිටම ක්‍රමක්‍රමයෙන් එම ඉලක්කය වෙත ගමන් කරමින් සිටින බවයි.

මෙවර අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනිදා සිට 12 දා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් මස 5 වැනි දා සවස අයවැය අවසන් ඡන්ද විමසීම සිදු කරනු ඇති.