News

වතු සටනට මුරලි පිටියට

හිටපු සුපිරි දඟපන්දු යවන මුත්තයියා මුරලිදරන් වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් දහස දක්වා වැඩි කිරීමේ සටනට මැදිහත්වී ඇති බව වාර්තාවේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගද ඒ සම්බන්ධයෙන් මුරලිදරන් පසුගිය සතියේ සෙනසුරාදා සාකච්ඡා කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වතු හාම්පුතුන් හමුවී ඇති මුරලිදරන් ඔවුනට පවසා ඇත්තේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකළහොත් කර්මාන්තයට දීර්ඝකාලීනව බලපාන බවයි. මේ වන විටත් නව පරම්පරාව රැකියා සොයා නගරයට සංක්‍රමණය වීමත් සමග මෙම තත්ත්වය උදාවන බව පෙන්වා දී ඇත. ඒ අනුව කර්මාන්තයට බලපාන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමටද මුරලිදරන් මැදිහත්වන බව පවසා ඇත.

මෙම හමුවීමෙන් පසුව ජනාධිපතිවරයා පසුගිය 13 වැනි දින තේ කර්මාන්තයේ නියැළී සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලුව හා කර්මාන්ත ආශ්‍රිත මතුව ඇති කෙටි කාලීන සහ දිගුකාලීන ගැටලු පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්. එම්. පී. හිටිසේකර ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

එම වාර්තාව මාසයකින් ලැබීමට නියමිත අතර ලබන සතියේදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වූ තීරණය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.