වතු සේවක වැටුප් වැඩිවීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම ගැසට් පත්‍රය මාර්තු මස 5 වන දා සිට වලංගු වේ.
එයට අනුව අවම දෛනික වැටුප රුපියල් 900ක් වන අතර අයවැය සහන දීමනාවක් ලෙස රුපියල් 100ක දීමනාවකට ද වතු කම්කරුවන් හිමිකම් ලබයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණි.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පඩි පාලක සභාව වෙත යොමු කළේය.
ඒ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 900 ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100 ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් ගෙවීමේ තීරණයට පඩි පාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 08 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි 15 වැනිදා දක්වා කල් දී තිබූ අතර ඉන් පසු පඩි පාලක සභාව පසුගිය පළමු වැනිදා යළි රැස් වූ අවස්ථාවේදී වතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉතුක් සභාවේ එළඹි තීරණය ස්ථිර කර තිබේ.