News

වන විනාශයන් ක්ෂණිකව වැටලීමට App එකක්

දිවයිනේ ඕනෑම ස්ථානයක සිදු කරන වන විනාශයන් හඳුනාගෙන, එම ස්ථාන ක්ෂණිකව වැටලීම සඳහා ගූගල් යෙදවුමක් (App) හඳුන්වා දීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබේ.

මෙහි දී වන විනාශය පිළිබඳව ඕනෑම අයෙකුට ඡායාරූපයක් ගෙන අදාළ යෙදවුමට (App) ඇතුළත් කළ හැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ පවසයි.

අදාළ පරිසර හානිය සිදුවන ස්ථානය සැටලයිට් තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කරන බවත්, එම ස්ථානයට කඩිනමින් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කියයි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් මෙම යෙදවුමට සම්බන්ධ කර ඇතැයිද ඔහු කියයි.

මෙම යෙදවුම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 වැනිදා හඳුන්වා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

සාලිය කුමාර ගුණසේකර