වැලිකන්දේ කොරෝනා රෝහලට විරෝධය පෑ සභාපති-උප සභාපති අත්අඩංගුවට
කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය රෝහලක් ලෙස තාවකාලිකව ස්ථාපිත කිරීමට ඇති හැකියාව සොයාබැලීමට ගිය කණ්ඩායමකට විරෝධතාවය දැක්වූ බවට චෝදනා ලැබූ පිරිස ඊයේ (17 වැනිදා) වැලිකන්ද පොලිසියට භාර වූහ.
නීතිඥවරයකු මගින් මෙලෙස පොලිසියට භාර වූයේ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පිරිසකි. පෙරේදා (16 වැනිදා) පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂ ඉන්දික සම්පත් කුමාර, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය ලක්සිරි වෛද්‍යරත්න සහ 50 දෙනෙකුගෙන් පමණ යුත් කාර්ය මණ්ඩලයක් එම ස්ථානයට ගිය විට වැලිකන්ද සභාවේ සභාපතිවරයා, උපසභාපතිවරයා සහ මන්ත්‍රීවරයකු එකී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීම හා සාපරාධී බලහත්කාරය පෑම යටතේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් වැලිකන්ද පොලියට පැමිණිල්ලක් ගොනුකර තිබිණි.
ඒ අනුව නීතිඥවරයකු මාර්ගයෙන් භාර වූ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ජේ.ජී. කවිඳු ප්‍රියන්ත අබේසූරිය (එජාප) උප සභාපති එම්.ඒ. සමන්ත බණ්ඩාර (ශ්‍රීලිනිප) බී.ඒ. සම්පත් ප්‍රසාද් (එජාප) යන අය පසුව අත්අඩංගුවට ගැනිණි.
සිද්ධියේ සැකකරුවන් වූ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස ඊයේ (17 වැනිදා) සවස පොළොන්නරුව මහෙස්ත්‍රාත් සුරංග ඈල ද සිල්වාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගිනි වූ ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කළේය.
මෙම නඩුව අගෝ.28 යළි කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ප්‍රියන්ත බණ්ඩාර – පොළොන්නරුව,
ප්‍රසාත් සමන් – වැලිකන්ද
