News

විෂ රූපලාවන්‍ය ද්‍රව්‍ය ලක්ෂ ගණනක් පිටකොටුවේ

පිටකොටුව තොග වෙළෙඳපොළට මසකට රුපියල් ලක්ෂ පහක් වටිනා භාවිතයට නුසුදුසු රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය එක් සැපයුම්කරුවෙකු විසින් නිකුත් කරන බව අනාවරණය කරගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය සමග බොරැල්ල කොටා ගාර්ඩ්න්හිදී පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය කරගෙන ඇත.

ජර්මනිය සහ පාකිස්තානයෙන් ආනයනය කළ බවට ව්‍යාජ ලේබල් අලවා මෙම නිෂ්පාදන බණ්ඩාරගම, අටළුගම කේන්ද්‍ර කරගෙන සැකසෙන බවද අනාවරණය වී තිබේ.

සම සුදුපැහැ ගන්වන ආලේපන, ෆේස්වොෂ්, සුවඳ විලවුන්, ඩියොඩ්‍රන් ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍යවලට අවශ්‍ය අමුද්‍රව්‍ය පවා මෙරටදී සංවිධානාත්මක කණ්ඩායමක් එක්ව නිෂ්පාදනය කරන බවත් මෙම ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් සැකකරු අනාවරණය කර තිබේ.

ඔවුන් වසර පහක සිට මෙම ජාවාරම කරගෙන යන අතර කොළඹට අමතරව ගම්පහ, මාතලේ, කළුතර, මහනුවර, බදුල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසකට මෙම ආලේපන බෙදාහැර තිබේ.