News

ශ්‍රීලංගම සේවකයන් 29,000කට සෙත සැලසෙන මිලියන 50ක අරමුදලක්

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන් 29,000 ක් නියෝජනය කරන සියලුම වෘත්තිය සමිති සමග සාකච්ඡා කොට එක් වසරක් තුළ මිලියන 50 කට ආසන්න මුදලක් එක්රැස් වන පරිදි සුභ සාධන අරමුදලක් පිහිටුවීමට තීරණය කළ බව එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක ‘අරුණ’ කළ විමසීමකදී පැවසීය.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති ඇතුළුව සමිති 7 ක් මීට එක්ව තිබේ.

ලංගමය තුළ සුබසාධන අරමුදලක් පිහිටුවා නොමැති වීම රට පත්ව ඇති මෙවන් හදිසි තත්ත්ව තුළදී තදින් දැනෙන බවත් පිහිටුවනු ලබන මෙම අරමුදල, ඉදිරියේදී සේවකයන්ගේ ආරක්ෂාවට එකතුවන විශාලතම අරමුදල වනු ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ලංගමය සතු සියලුම යාන්ත්‍රික වැඩපොළවල් ඇඳිරිනීති කාලය තුළද ක්‍රියාත්මක වන බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

ශිරන්තනී මානවඩු