News

ශ්‍රීලනිප – පොහොට්ටු ගිවිසුම අද

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ අවබෝධතා ගිවිසුම අද (10 වැනිදා) අත්සන් කිරීමට කටයුතු යොදා ඇත.

කොළඹ පදනම් ආයතනයේදී පෙරවරු 9.30ට මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතය. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (9 වැනිදා) නිවේදනය කළේය. එලෙස නිවේදනය කිරීමට පෙර පෙරේදා (8 වැනිදා) රාත්‍රියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍ය්‍යෂ්ඨයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක්ද ඊයේ (9 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.

මෙම සාකච්ඡාවලදී අවබෝධතා ගිවිසුමට අදාළ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තවත් ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ විදේශගතවීමෙන් පසු දිවයිනට පැමිණීමෙන් අනතුරුව එම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

උදයජීව ඒකනායක