News

ශානිට පස්ස දොරෙන් යන්න ඉඩදුන් ඒ.එස්.පී.ගෙන් ප්‍රශ්න කරයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට එදින පිටුපස දොරටුවෙන් රහසිගතව පිටව යාමට තම වාහනය ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. කළණසිරිට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්නට දුන් නියෝගයක මතය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් සහකාර පොලිස් අධිකාරි කළණසිරි නමැති නිලධාරියාගෙන් ප්‍රකාශය ලබාගෙන ඇත.

මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසම මගින් වැඩතහනමට ලක්කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 23 වැනිදා පැය පහක ප්‍රකාශයක් ලබාගත්තේය.

එදිනි (23 වැනිදා) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වී ප්‍රකාශය දුන් හෙතෙම පස්වරු 3.00ට පමණ එ පිවිසුමෙන්ම පිටව නොගිය බව එහි බලා සිටි මාධ්‍යවේදීන්ගෙන් අනාවරණය විය.

පසුව සොයා බැලීමේදී සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් නිල රථයකින් ඔහුගේ රියැදුරා හා ශානි අබේසේකරගේ කලින් රියැදුරාද සමග පසුපස ඇති පිවිසුම් ගේට්ටුවෙන් පිටත්කර යවා ඇතැයි හෙළිවිය.

තිස්ස රවීන්ද්‍ර පෙරේදා