News

සජිත්ගේ ප්‍රචාරක රැලි සඳහා රනිල් ගන්න එපාලු!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි කර නොගැනීමට සජිත් පාර්ශ්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා බවට පත් කළ යුතු යැයි දැඩි ලෙස කරුණු ඉදිරිපත් කළ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ මැදිහත් වීම මත මෙම තීරණයට එළැඹ තිබේ. නමුත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ ඇතැම් මැති ඇමැතිවරුන් පෙන්වාදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ජන රැලි සඳහා සහභාගි කරවා ගත යුතු බවයි.

එහිදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පෙන්වාදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා උතුර නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා පමණක් සහභාගි කරවා ගත යුතු බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ කිසිදු රැස්වීමකට මෙතෙක් සහභාගි වී නැත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අරලියගහ මන්දිරයේදී ඊයේ (15 වැනිදා) උදෑසන හමුවී මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය අතර සාකච්ඡාවක් පෙරේදා (14 වැනිදා) පැවැති අතර එහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කර ඇත. කථානායක තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා තමන් කිසිදු දේශපාලන ව්‍යාපාරයක නොයෙදෙන බව කථානායකවරයා මෙහිදී දැනුම් දී තිබේ.

උදයජීව ඒකනායක