සඳගිරි මහ සෑයේ කොත්වහන්සේ පැලඳවීම සිදුකෙරේ
අතිශය මනරම් පරිසරයක පිහිටි සුන්දර හන්තාන කඳු මිටියාවතේ ඉදි කෙරෙමින් පවතින සඳගිරි මහ සෑයේ කොත්වහන්සේ පැලඳවීම මැදින් පුන් පොහෝ දින වූ ඊයේ ( 28 වැනිදා) සන්ධ්‍යා යාමයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි.
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර, ප්‍රධාන විධායක අධ්යක්ෂ මාධව මඩවල, උපසභාපති ලක්සිරි වික්‍රමගේ, බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙම පිරිස ඒ මහා පුණ්‍යකර්මය වෙනුවෙන් සඳගිරි මහා සෑ මුදුනට පිය නගන විට සිහින් සිරි පොද වැසි වැටෙමින් දැඩි සීතලකින් පරිසරය වෙළාගෙන තිබිණි. සවස 4.45ට පමණ කොත් වහන්සේ පැලඳවීම සිදු කෙරුණේ පිරිත් සජ්ඣායනා ආශිර්වාදය හන්තාන මීටියාවත සිසාරා පැතිර යමින් තිබියදීය.
කොත් වහන්සේ පිළිමතලාවේ සිට පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කරවූයේ පසුගිය බ්‍රහස්පතින්දාය. සඳගිරි මහා සෑයේ කොත් වහන්සේ වන්දනාමාන කර ගැනීමට සැදැහැවතුන්ට ඉකුත් සිකුරාදා අවස්ථාව ලබාදී තිබිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන මනරම් පරිසරය ආශ්‍රිතව ඉදි කෙරෙන උසම චෛත්‍යරාජයාණන් වහන්සේ වන්නේ මෙම සඳගිරි සෑයය.
දෙරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කෙරෙන්නේ බුබ්බුළාකාර ආකෘතියෙනි. අඩි 108ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේ සහිත පරිශ්‍රය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 450 කි.
සෑයට මුල්ගල තැබීම සහ අවශේෂ නිධන් වස්තු තැන්පත් කෙරුණේ ඉකුත් 2017 වසරේදීය. මහ සෑයේ දේවතා කොටුවේ දේවතා රූප ඇලවීම සහ සෑය කපරාරු කිරීමේ කටයුතු පසුගිය වසරේ දී ආරම්භ කෙරිණි. ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින්වහන්සේගේ අදහසකට අනුව මෙම ඉදිකිරීම් ඇරඹිණි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු සැදැහැවත්හු විශාල පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.