සමගි ජන බලවේගයේ සමගිය නැතිවුණ හේතුව කිරිඇල්ල කියයි
පසුගිය මාස තුනක කාලය තුළ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් වලදී සිදුවූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවූ සමඟි ජන බලවේගයේ කකුලෙන් ඇඳීම බව එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සජිත් ප්‍රේමදාස මහතාට විපකෂ නායක ධූරයත් මහ මැතිවරණය සඳහා එජාපය මූලිකත්වයෙන් බිහිවන සන්ධානයේ නායකත්වයත්,අගමැති අපේක්ෂකත්වයත් ලබා දීමට අනුමැතිය ලබාදී තිබියදී ඡන්ද ලකුණක ප්‍රශ්නයක් මතුකර ප්‍රශ්න මතු කිරීම තුළ පැහැදිලිව පෙනෙන්නේ එම සන්ධානයට එරෙහිව කටයුතු කරන බව යැයිද ඒ මහතා කීය.
මහනුවර හීරැස්සගල ප්‍රදේශයේදී ඊයේ (08) පැවැති මාධ්‍යය හමුවකදී කිරිඇල්ල මහතා මේබව පැවසුවේය.
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සියලු යෝජනා සම්මත වීමෙන් පසු අලියා හෝ හංසයා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් පැමිණි බවත් එම ලකුණු පාවිච්චි කිරීමේදී ඇතිවිය හැකි නෛතික කරුණු සැලකිල්ලට ගෙන වෙනත් ලකුණක් වෙත අවධානය යොමු කිරීමට සිදුවූ බවත් කී කිරිඇල්ල මහතා ඒ සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටි බවද අවධාරණය කළේය.
සමඟි ජනබලවේගය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන තිබෙන බවත් එසේ තිබියදී එහි ව්‍යවස්ථාව සම්බනධව බොරු ප්‍රශ්න මතු කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවත් කී මන්ත්‍රීවරයා සමඟි ජනබලවේගය කඩා දමන්න දැන් පිරිසකට අවශ්‍යය වී තිබෙන බවද පැවසුවේය.
කොන්දේසි විරහිතව සමඟි ජන බලවේගයට හංසයා ලකුණ ලබා දීමට එහි හිමිකරුවන් කැමැත්ත ප්‍රකාශකර තිබියදී එයටද පිරිසක් විරුද්ධවී සිටින බවත් මෙම තීරණාත්මක අවස්ථාවේ සමඟි ජන බලවේගයට සහය ලබාදෙන ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
ලකුණ දඩමීමා කරගෙන සන්ධානය විනාශ කරන්නට කටයුතු කරන්නේ නම් එය ජනතාවාදී තීරණයක් නොවන බවත් මෙම සන්ධානය බිහිවීම වලක්වමින් කකුලෙන් අදින පිරිස් මෙරට දේශපාලන ඉතිහාසයේ කුණු බක්කියට ඇද වැටෙනු නියත බවත් හෙතෙම අවධාරණය කළේය. මේ මල් වට්ටියට අතගසන ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂය දිස්ත්රිකක 22 කට නාම යෝජනා ලබාදෙන බවට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ කිසියම් ත්‍රාසයක් ඇති කිරීමට කියා තමන් විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
කුමාර වෙල්ගම මහතාද ඉදිරියේදී සමඟි ජන බලවේගය හා එක්වීමට නියමිත බවද හෙතෙම පැවසීය.
පක්ෂයේ ඉහළ මට්ටමේ ඉන්නා අය බෙදුනත් ගම්මට්ටමේ ඉන්න ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින්නේ බෙදී නොගොස් එකට ඉන්නා ලෙස බවද ඒ මහතා කීය.
