සයනයිඩ් කරල් දෙක උඩුහක්කේ සඟවාගෙන ලෝජිනී නැන්දම්මා බලන්නට යයි
ජීවිතයේ ප්‍රථම වතාවට පෙම්වතියක් වූ දිනයේදී ඕනෑම තරුණියකට ඇතිවන හැඟීම සදානුස්මරණීය වේ. ඒ ප්‍රථම දිනය ගෙවී යන්නේ ප්‍රීතිමත් හැඟීම් සමුදායක් සමඟිනි. නමුත් මරාගෙන මැරෙන කොටි සාමාජිකාවක වූ ලෝජිනී, නොසිතූ මොහොතක පෙම්වතියක් වුවත් ඇය ඉදිරියේ අභියෝග රැසක් තිබිණ. ඇයට තිබූ ප්‍රධානම අභියෝගය වූයේ ඇයගේ ජීවිතයට අත්වන ඉරණම කුමක්ද යන්නයි.
‘‘මගේ කැමැත්ත ප්‍රකාශ කරපු විදිහ රූබන්වත් බලාපොරොත්තු වුණේ නැහැ.
‘ඔයා කැමති නම් මෙහෙමම අපේ ගෙදර යමු. කිසිම ප්‍රශ්නයක් නැහැ.’
කියලා රූබන් සතුටෙන් කීවා. මම ඒ යෝජනාවට කැමති වුණේ නැහැ. මොනවාහරි හේතුවකට මගේ කැමැත්ත ප්‍රකාශ කළාට පස්සේ මට හිතුණා අයියෝ මම මොනවද කළේ කියලා. කොහොමහරි රූබන් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉඳලා මගේ නවාතැන්පළට ගියා. රූබන් මාව එතනටම එක්කරගෙන ගිහින් ඇරලුවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන්ට ප්‍රේම සබඳතා පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම්. සංවිධානය පටන්ගත්ත මුල් කාලයේදී ඒකේ හිටපු නායකයෙක් වුණ උමා මහේෂ්වරන්, උර්මිලාදේවි කියලා ගෑනු ළමයෙක් එක්ක ප්‍රේම සබඳතාවයක් තිබලා ඒ ප්‍රශ්නය නිසා සංවිධානයේ බෙදීමක් ඇතිවෙලා, ඊටපස්සේ උමා මහේෂ්වරන් ප්ලොට් කියලා වෙනම සංවිධානයක් හදාගෙන ගියා කියලත් මම අහලා තියෙනවා. ඒ දේවල් වෙලා තියෙන්නේ මම ඉපදෙන්නත් අවුරුදු 10කට විතර කලින්. හැබැයි එදා ඉඳලා අවුරුදු 30ක විතර කාලයක් තිස්සේ මම වව්නියාවට එනකම් ඒ නීති තදින්ම ක්‍රියාත්මක වුණා. කලාතුරකින් සමහරු ප්‍රේම සබඳතා තියාගෙන ඉඳලා අහුවුණ අවස්ථාත් තිබුණා. එහෙම වෙලාවට කරන්නේ කසාද බන්දන්න සුදුසු මට්ටමක ඉන්නවා නම් කසාද බන්දනවා. එහෙම නැතිනම් දඬුවම් කරලා සංවිධානයෙන් ඉවත් කරනවා. කළු කොටි (මරාගෙන මැරෙන) සාමාජිකයන්ට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. එයාලට මොනම හේතුවකටවත් ප්‍රේම සබඳතා තියාගන්න බැහැ. මැරෙන්න පුරුදු පුහුණු කරපු අය ප්‍රේම සබඳතා පැවැත්වුවහොත් එයාලගෙ මරාගෙන මැරෙන අරමුණ වෙනස් වෙනවා. එහෙම වුණොත් ගොඩක් අමාරුවෙන් පුහුණු කරපු කෙනෙක් සංවිධානයට නැති වෙනවා. අනිත් අතට ප්‍රේමවන්තයා මාර්ගයෙන් සංවිධානයේ රහස් ප්‍රහාරක සැලසුම් සතුරන් අතට පත්වෙන්න පුළුවන්. ඒ නිසා කළු කොටි සාමාජිකයන් ප්‍රේම සබඳතා පවත්වලත් නැහැ. එහෙම හිතද්දි ප්‍රේම සබඳතාවයක් පවත්වන පළමු කළු කොටි සාමාජිකාව මමද කියලා හිතුණා.’’
ලෝජිනීගේ දෛවයද පුදුමාකාර පරිවර්ථනයක් කරමින් හුන්නේය. ඒ වනතෙක් ලෝජිනීගේ උත්සාහය හා අරමුණ වූයේ හැකි ඉක්මනින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර වීර මරණයක් හිමි කරගෙන කොටි සංවිධානය තුළ අමරණීය චරිතයක් බවට පත්වීමටයි. නමුත් රූබන්ට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව ලෝජිනීටත් නොදැනීම ලෝජිනීගේ ජීවිතයට ඇය ආදරය කරන්නට වූවාය. නිසංසල රාත්‍රියේ නින්දට යනවිට ඇය විසින් කරන ලද වරදේ බරපතළකම ඇයට වැටහෙන්නට විය.
‘‘දැනගත්ත ගමන් මාව මරලා දාවිද?
රූබන්ටත් කරදරයක් කරාවිද?
ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා හෙට සුගන්දන්ට කතා කරනවා.’’
තීරණයක් ගත් ලෝජිනී පසුදින නවාතැන්පළ අසල පිහිටි කොමියුනිකේෂන් එකට ගියාය.
‘‘ආ. සිවනේෂ්වරී අක්කා… (ලෝජිනී වව්නියාවේදී පෙනී සිටියේ එම නමිනි) අයියට කෝල් එකක් ගන්නද?’’
ඒ වනවිට හිතවත්කමක් ගොඩනැගී තිබූ කොමියුනිකේෂන් එකේ තරුණයා විමුසවේය.
‘‘ඔව් මල්ලි. පොඩි හදිස්සියක්!’’
ලෝජිනී කීවාය.
නමුත් සුගන්දන්ගෙන් ප්‍රතිචාරයක් නැත.
‘‘ඇයි දන්නේ නැහැ. වැඩ වැඩි ඇති. ටිකක් හැන්දෑවෙලා ඇවිත් බලන්න අක්කා.’’
තරුණයා කීවේය.
‘‘වෙන දවසක සුගන්දන් කතා කළේ නැත්නම් මම මානසිකව වැටෙන්න තිබුණා. එදා සුගන්දන් කතා නොකරපු එක මට සතුටක්. මොකද සුගන්දන් කතා කරා නම් සමහරවිට මට එක එක උපදෙස් දුන්නොත් මම දෙගිඩියාවකට පත්වෙනවා, මරාගෙන මැරෙන අරමුණ තුළම ඉන්නවාද රූබන් එක්ක වෙනම ගමනක් යනවද කියලා. ඒත් සුගන්දන් කතා නොකරපු නිසා රූබන් එක්ක ඉදිරි ගමන යනවා කියලා තීරණයක් ගත්තා. සමහරවිට කවදාහරි දවසක සංවිධානයෙන් මාව මරන්න ඇවිත් මට කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් සුගන්දන් කතා නොකරපු නිසා මගේ ආරක්ෂාවට රූබන් එක්ක ප්‍රේම සබඳතාවය පටන්ගත්තා කියන්න පුළුවන් කියලා මට හිතුණා.’’
පසුදින සිට තමා මරාගෙන මැරෙන කොටි කාන්තාවක් බව ටිකෙන් ටික ලෝජිනීට අමතක විය. රූබන්ද විටින් විට ත්‍රීරෝද රථයෙන් පැමිණ ලෝජනීව හමුවිය. රූබන් සිටි ත්‍රීරෝද රථයට ලෝජනීව නංවාගෙන කතාබහ කරමින් කුලී ගමන් යන ආකාරයට මාර්ගවල කරක් ගැසුවේය. ඇතැම් අවස්ථාවල ත්‍රීරෝද රථය තුළට වී කතාබහ කරන ලදි. නමුත් දින කීපයක් ගතවනවිට ලෝජනීගේ නවාතැන්පළේ සිටින්නන් ඇයව නුරුස්සනා බව ඇයට වැටහී ගියාය.
‘‘මම මුලින්ම කීවනේ මගේ ඇත්ත තත්ත්වය දන්නෙ මගේ නවාතැන්පළේ ඉඳපු වැඩිහිටි පිරිමියා විතරයි කියලා. ඒ ගෙදර අනිත් අය ඇත්ත සිද්ධිය දන්නෙ නැහැ. එයාලට තේරිලා මම පංති යනවා කියලා බොරුවක් කරන්නෙ කියලා. ඒ මදිවට මම රූබන් එක්ක කතා කරනවත් කවුරුහරි දැකලා කියලා තියෙනවා. ඊටපස්සේ ගෙදර අය මගෙන් අනවශ්‍ය විදිහට ප්‍රශ්න කරන්න ගත්තා. එයාලා මට සැලකුවේ පල නොකියා පලා බෙදනවා වගේ. ඒ වෙද්දි මගෙයි රූබන්ගෙයි සම්බන්ධය පටන් අරගෙන දවස් කීපයයි ගතවෙලා තිබුණේ.’’
ඕනෑම වසරක ජනවාරි 14 දින යනු තෛපොංගල් දිනයයි. තෛපොංගල් යනු සිංහල අලුත් අවුරුදු උදාව මෙන්ම වැදගත් දිනයකි. එදිනට අලුත් ඇඳුම්වලින් සැරසෙන හින්දු ජනතාව කෝවිල් වෙත ගොස් ආගමික චරිත්‍ර ඉටුකරන අතර හොඳින් කා බී සතුටු වෙති. ලෝජනී ද උදෑසනම සූදානම් වී කෝවිලට යන්නාක් මෙන් සූදානම් වී යන්නේ රූබන්ව හමුවීම සඳහාය. ලෝජනීව බලාපොරොත්තුව කල්මරමින් සිටි රූබන්ට ලෝජනීව හමුවිය.
‘‘අනේ රූබන් මම නැවතිලා ඉන්න තැනින් මට ප්‍රශ්න ගොඩක්. මම ඔයත් එක්ක කතා කරකර ඉන්න එක කවුරුහරි දැකලා කියලා තියෙනවා. ඒ නිසා මම ඉන්නවට එයාලා කැමති නැහැ වගේ. මම මොනවද කරන්නේ රූබන්?’’
ලෝජිනී රූබන්ට එලෙස කියනුයේ ඇතැම් කරුණු වසන් කරමිනි.
‘‘එකම විසඳුමයි තියෙන්නෙ. මම කලිනුත් කීපසැරයක්ම කියලා තියෙනවා. ඔයා කැමති වුණේ නැහැ. මාත් එක්ක අපේ ගෙදර යමු.’’
මෙවර රූබන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ හේතුවක් ලෝජිනීට නොවුණි.
‘‘එහෙනම් නැවතිලා ඉන්න තැනට ගිහින් මගෙ ඇඳුම් අරගෙන එන්නම්.’’
‘‘නැහැ කිසිදෙයක් ඕන නැහැ. ඔහොමම අපේ ගෙදර යමු.’’
ලොජිනී රැගත් ත්‍රීරෝද රථය රූබන්ගේ නිවස බලා හැල්මේ පිටත්විය.
ඒ වනවිටත් ලෝජිනීගේ උඩුඇන්දේ සඟවාගත් සයනයිඩ් කරල් දෙක එලෙසම තිබිණි.
සනත් ප්‍රියන්ත